ආපසු හැරී බලමු

නතේන හෝති ධම්මට්ඨෝ
යේ නත්ථං සහසා නයේ
යෝච අසීං අන්ථනත්ථංච
උභෝ නිචිජෙය්‍ය පණ්ඩිතො
ධම්මපදය

අර්ථය – අනර්ථය (ධර්මය, අධර්මය) යන ද්විවිධ කරුණු අවිචාරීව විසඳන තැනැත්තා ධර්මිෂ්ඨයෙක්, ධර්මයෙහි පිහිටි අයෙක් නොවේ. යමෙක් ධර්මය අධර්මය හොඳ නරක හරි හැටි විසඳන්නේ ද හෙතෙම පණ්ඩිතයෙක් වෙයි.

සකල ලෝකවාසීන් අතුරින් බොහෝ දෙනා අද හොඳ නරක දෙක හරි හැටි නිශ්චය කොට ගන්නට අපොහොසත්ව මුලාවී සිටිති. ඔවුන්ගේ චර්යා රටා කිළිටි වී ගොස්ය. ඇතැම්විට මිනිසා මිනිසාටම එරෙහිව නැගී සිටිමින්, ඔවුනොවුන් නසා ගන්නා තැන් බහුලය. අමානුෂික ක්‍රියාදාම ශීඝ්‍රයෙන් සමාජය පුරා පැතිරේ. ආතතිය මිනිසුන්ගේ සිත් පෙළන්නේ ය. හද පාරන කතා නොයෙක් තැන් වලින් අසන්නට ලැබේ. සුළු කරුණකදී වුවද ඔවුනොවුන් ඇණ කොටා ගනිති. අවි ආයුධ ගන්නා නපුරෝ හැම තැනකම පාහේ සිටිති. ඉතා සුළු දෙයට වුවද ජීවිත විනාශ කරන්නට අද ලොව ඇතැමුන්ට කිසිම චකිතයක් නොමැත. හොරකම්,වංචා, දූෂණ ආදී අපරාධ සාමාන්‍ය ජීවිතයේ අංගෝපාංග ආකාරයෙන් පැළපදියම් වී ඇත්තේ ය.

මේ දරුණුකම් අද වැඩිහිටියන්ගේ ලෝකයෙන් සිඟිති සුන්දර දරුවන්ගේ ළමා ලෝකයටත් බලපාන්නට පටන්ගෙන ඇත්දැයි සිතේ.

ඇතැම් දරුවොත් සම වයස්ගතයන් හා සමඟ සැරපරුෂ ලෙස කතා බහ කරමින් රණ්ඩු සරුවල් කිරීමට යොමුවෙති. මෙලෙස දුර්දාන්ත ක්‍රියාවල යෙදෙන්නේ ලෝකයේ එක් ප්‍රදේශයක හෝ එක් රටක හෝ අය පමණක් යැයි කියන්නට බැරිය. මේ විනාශකාරී ගති පැවතුම් ලෝකයේ හැම සමාජයක්ම පාහේ විනාශ මුඛයට පත්කරන තරමටම ව්‍යාප්ත වී ඇත්තේ ය.

ත්‍රස්තවාදී ක්‍රියා, මරාගෙන මැරෙන නාශක ගති පැවතුම් අහිංසක දරු දැරියන්, කාන්තාවන්, බාල මහලු, මිනිසුන්, හිත් පිත් නැතිව වධ හිංසාවට ලක්කොට ඔවුන් අමු අමුවේ ඝාතනය කිරීම අද ලෝකයේ පුවත් අතුරින් මුල්තැන ගන්නා සිද්ධි බවට පත්ව ඇත්තේ ය.

මෙවැනි විනාශකාරී ක්‍රියාවල් යොමු කෙරෙන්නේ හුදෙක් මිනිසුන් කෙරේ පමණක් නොවේ. ශත වර්ෂ ගණනක් මුළුල්ලේ මිනිසා විසින් ගෞරව පෙරටුව ආරක්ෂා කළ සිද්ධස්ථාන, අසහාය ගොඩනැඟිලි, මානව පුද පූජාවට භාජනය වන පිළිම මූර්ති ආදියද ඇතැම් අමානුෂික මිනිස් රකුසන්ගේ පහරින් විනාශ වන අවස්ථාද වේ.

මිනිසා විසින් කාලාන්තරයක් මුළුල්ලේ වෙහෙස දරාගෙන නිර්මාණය කළ ඒ මා හැඟි වස්තු, විනාශකර දමන තරමටම ඇතැම් මිනිස්සු සැහැසි බවට පත්ව සිටිති.

මානව සමාජය මෙවැනි කුරිරු අමානුෂික තත්ත්වයකට පත්වූයේ කෙසේද?

සකල ලෝකයා දෙස බලන ගමන්ම, අප විසින්, ඉතා තියුණු විශේෂ අවධානය යොමුකළ යුතු වන්නේ අපගේ මේ ධර්මද්වීපය දෙසටයි.

මෑත යුගයේ, එක්තරා කලක සිට, අපගේ මේ දහම් දිවයින ද මේ ලිපිය ලිවීමෙහි දී, මගේ මුඛ්‍යාධ්‍යාංශය වන්නේ අපට මෙවැනි ඛේදදායි ඉරණමක් අත් පත් වූයේ ඇයි දැයි සෙවීමටත්, ඒ දුර්දාන්ත ග්‍රහණයෙන් අපගේ පරිශුද්ධ දේශයත්, මේ රටේ අහිංසක ජනතාවත් බේරාගත හැකි මාර්ගය කවරේදැයි ගවේෂණය කිරීමත්ය.

අපගේ දේශය, අතිශයින් සමෘද්ධිමත්ව, ජනතාව, සුඛිත මුදිත, දිවි පෙවෙතක් ගතකළ සාමකාමී කාල පරිච්ඡේදයන්හිදී මේ උත්තම දේශය බුදුහිමියන්ගේ අමාදහම ගරුකළ ශ්‍රේෂ්ඨ මානව ජනපදයක් විය.

අනුක්‍රමයෙන් මේ රටේ ජනතාව බුදුහිමියන් විසින් පෙන්වා වදාළ දහම් මාර්ගයෙන් ඉවත්වන්නට වූහ. ඔවුන්ගේ සැදැහැබර ගති පැවතුම් ආගම, භක්තිය, සිල්වත්කම් කෙමෙන් පිරිහී යන්නට පටන් ගත්තේ ය. ඔවුන් තුළ පැවති කුළුණුබර හැඟීම් කෙමෙන් අතුරුදහන් වන්නට පටන් ගත්තේ ය.

අවට සමාජයේ දකින්නට ලැබෙන විවිධ මට්ටමේ නපුරුකම් ඉස්මතු වන්නට පටන්ගත්තේ බුදුදහම ආශි‍්‍රත යහගුණ වැනසීයන්නට පටන් ගැනීම හා සමඟයි.

මීට පෙර යුගයන්හිදී ශ්‍රී ලංකාවේ සමාජයේ පරිහාණි සමයන් උද්ගත වූවිට එවැනි ව්‍යසන වලින් ජනතාව ගලවා ගන්නා සාමාජික හා සාමයික නායකයෝ පහළ වූහ.

ඔවුහු, එසේ වැරදි මඟ ගිය මිනිසුන් නැවතත් දහම් මඟට ගෙන එමින් ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළහ. ඒ කෙසේ වුවද අප විසින් මේ මොහොතේ කළයුතු ප්‍රධාන කාර්යයක් වේ. එනම් ශ්‍රී ලංකාවේ සමාජය, වෙසසින්ම සිංහල බෞද්ධ සමාජය, යහමඟට ගන්නට ඉතාම ප්‍රබල ප්‍රයත්නයක් දැරීමයි. ඉතා ඈත අතීත යුගවලත් දහම පිරිහී ගිය කාල පරිච්ඡේද තිබේ. බුදුහිමියන්ගේ මහා පරිනිර්වාණය හා සමඟම ශාසනය පිරිහී යෑමේ සළකුණු පහළ වන්නට වූයේ ය.

සම්බුදු හිමියන් නොමැති තැන තමන් කැමති ආකාරයකින් හැසිරිය හැකියැයි කියන නොදැමුණු සංකල්පයට යොමුවූ ‘සුභද්‍රනම් අභද්‍ර මහණෙක’ බුද්ධ භාෂිතය කෙළසන්නට අර ඇන්දේය. මෙහිදී නොපමාව ඒ උවදුරු මැඬලන්නට ඉදිරිපත් වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පෙරටු කොටගත් එවක සංඝ ප්‍රභූවරු නිර්මල බුද්ධශාසනය තහවුරු කරන්නට කතිකාවතක් ආරම්භ කළහ.

මෙය ඉතිහාසයේ සඳහන් වන්නේ ප්‍රථම ධර්ම සංගායනාව වශයෙනි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පැවැත්වුණු, මේ ධර්ම සංගායනාවේ දී පරිශුද්ධ බුද්ධ ධර්මය ස්මෘති පරම්පරාවට එක්කරන ලදී. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියක් වසරකට පසු දෙවන ධර්ම සංගායනාව පැවැත්විණි. ඉන් පසුව තෙවන ධර්ම සංගායනාව සිදුවුණේ ක්‍රි.වර්ෂයට පෙර 247 දීය. පාඨලීපුත්‍ර නගරයේ පැවැත්වුණු ඒ තෙවන ධර්ම සංගායනාවේ මුලසුන උසුලනු ලද්දේ මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේයි. ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැවැත්වුණු මේ තෙවන සංගායනාවේ ප්‍රබලතම ප්‍රතිඵලය වූයේ බුදු සමය පිහිටුවනු පිණිස බෞද්ධ ධර්ම දූතයන් විවිධ දේශයන්ට යැවීමයි. ධර්මාශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ බුදු සමය රැගෙන ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වූයේත්, මෙම තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි.

මෙහිදී මා ඒ ප්‍රථම ධර්ම සංගායනා තුන සඳහන් කළේ නිර්මල බුදු සමයට හානියක් සිදු වූ අවස්ථාවන්හිදී ඒවා විසින් නිර්මල බුදුදහම රැකගත් බව තහවුරු කිරීම පිණිසයි.

ඉන් පසුවද ධර්ම සංගායනා තුනක් පැවැත්විණි. ඉන් අවසන් ධර්ම සංගායනාව පැවැත්වුණේ බුරුම දේශයෙහි (මියන්මා දේශය) ය. ඒ 1953 දීය. අප විසින් මේ යුගයේ දී 07 වන ධර්මසංගායනාව ශ්‍රී ලංකාවේ දී පැවැත්විය යුතු යැයි මම මින් අදහස් නොකරමි. එය අතිශයින්ම බැරෑරුම් සුවිශේෂී කාර්යයක් වන හෙයිනි.

එහෙත් මවිසින් ඉදිරිපත් කරන වෙනත් අදහසක් ඇත්තේ ය. මේ අදහසට මුල පෑදුනේ මෑත දිනවල සිදු වූ ප්‍රබල සංසිද්ධියකි.

ඉතාම දිගු කලකට පසු, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අත්‍යන්තයෙන්ම සාමකාමී ඡන්ද විමසීමක් සිදු වුණේ ය.

ජපානයේ නේවාසිකව සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වන මම, පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියෙමි. මා මෙහි ආයේ මාගේ ගෞරවණීය ගුරු දේවයාණන් වහන්සේ වන දොඩම්ගොඩ අස්සජි නා හිමිපාණන් වහන්සේට, අවසන් ගෞරවය දැක්වීම පිණිසයි. එසේ ශ්‍රී ලංකාවට පැමිණි කාලයේ දී මම, ශ්‍රී ලංකාවේ දී පැවති ඡන්ද විමසීම දුටුවෙමි.

එහි සාමකාමී ලක්ෂණ මාගේ අත්‍යන්ත විශ්මයට හේතු විය. මීට පෙර වාරවල මා ජපානයේ සිටියදී ශ්‍රී ලංකාවේ ඡන්ද විමසීම් ප්‍රතිඵල ඇසුවෙමි. අනිවාර්යෙන්ම අසන්නට සිදුවූයේ දරුණුකම්, තාඩන, පීඩන, ගිනි තැබීම්, නසා ගැනීම් ආදී සිද්ධියි. ජපානය වැනි සාමකාමී අතිශයින් හික්මුණු දේශයක සිටගෙන, අපේ මව්රටේ සිදුවන දරුණුකම් අප අසන්නේ ලජ්ජා සහගතවයි.

එහෙත් මෙවර අපි ඊට හාත්පසින්ම වෙනස් සාමකාමී සිද්ධි මාලාවක් අත් දුටුවෙමු. මෙවර ඡන්ද විමසීමක් සිදු වූයේ දැයි කියාවත් නොපෙනුන තරම්ය. ප්‍රතිඵල ප්‍රකාශ වීමෙන් පසුව මිනිස්සු සාමකාමීව එක් රැස්වී කැවුම් කිරිබත් වළඳමින් සිය සතුට පළ කළහ. ජය උත්සවවලදී පක්ෂ භේද වර්ණ භේද ආදියක් නොපෙනුණි. සත්‍ය වශයෙන්ම උදාවුණේ සාමකාමී යුගයකි. ඒ නිසා මා මෙහිදී යෝජනා කරන්නේ මේ සාමකාමී ගති පැවතුම් නොනසා, දිගටම පවත්වාගෙන යෑමට තැන්පත් සාමාජික ක්‍රියාවලියක් නොපමාව ආරම්භ කළයුතු බවයි.

සිදුවිය යුත්තේ විවිධ මතධාරීන් විවිධ පක්ෂ නියෝජනය කරන විද්වතුන් එකට එක් වී මේ දේශයේ ස්ථාවර සාමකාමී ජනපදයක් ස්ථාපිත කිරීම සඳහා ප්‍රබල පදනමක් පිහිටුවාලීමයි.

අපට ඉතිහාසය විසින් එකට එක්වී සාමකාමී, ප්‍රබුද්ධ දේශයක් තනා ගන්නට අවස්ථාව සපයා ඇත්තේ ය. සුහද සහජීවනයෙන් එකිනෙකා හා සමඟ අත්වැල් බැඳගෙන අපේ මේ දිවයින සමෘද්ධියේ හිරුරැස් සදා දිලෙන දේශයක් බවට පත්කොට ගන්නට දැන් අවසරයක් ලැබී ඇත්තේ ය.

1948 දී අප නිදහස ලැබූ තැන පටන්ම අපට මේ දේශය පරමාදර්ශී ශ්‍රේෂ්ඨ ස්ථානයක් වශයෙන් දියුණුකොට ගන්නට වරම් ලැබී තිබිණි. එහෙත්, අප පටු වාද භේදවලින් භින්න වී අතට පත් සමෘද්ධිය ඉවත ලූවේ ය.

යළිත් ලැබුණු වරප්‍රසාදය අපගේ ප්‍රගතිය සඳහා සම්පාදනය වූ මහ මාවතක් සේ කල්පනා කළ යුතු වෙමි. ඒ නිසා අප මින් පසුව අපගේ පාලකයන් තෝරා ගැනීමේදීත් හිංසා පීඩා විරහිත මං සොයාගෙන අපගේ මේ උත්තම දේශය පෙරදිග පාරාදීසයක් බවට පත් කර ගනිමු. අපට වඩා ඉතාම කුඩා (වර්ග කි.මීටර 720) සිංගප්පූරු දේශය අවුරුදු පනහක නිදහස ඉතා ප්‍රබුද්ධ ලෙස භාවිතා කොට, අද ලොව ඉතාම සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත්ව තිබේ.

ඒ කුඩා දිවයින බහු වාර්ගික, බහු ආගමික, බහු භාෂා, ව්‍යවහාර කරන සිඟිති රාජ්‍යයකි. එහෙත් ඔවුහු උනන්දුවෙන් හා සාමයෙන් තමන්ගේ නිදහස කා දමන්නේ නැතිව ශික්ෂණයකින් යුතුව විශිෂ්ට රාජ්‍යයක් තනා ගත්හ.

1948 පටන් අවුරුදු 67 ක් මුළුල්ලේ අප ඔවුනොවුන් සමඟ ඇනකොටා ගනිමින් අපගේ වරප්‍රසාද වීසිකොට ලූවෙමු. ඒ නාස්තිය හොඳටම ඇති බවත් අප විසින් දැන් සාමූහික ප්‍රයත්නයෙන් මේ උත්තරීතර දේශය සාමය රජයන සාමකාමී සහජීවනයෙන් බැබළෙන රටක් කොට ගන්නට මේ සාමකාමී ඡන්දයෙන් පාඩමක් උගෙන ගනිමු. අප සැවොම එක්ව දිනාගත හැකි දේ බොහෝ ය. අපගේ සම්පත් අප තාමත් හරි හැටි භාවිතා නොකළෙමු. අපගේ ජනතාවට නිදහස් සමෘද්ධියේ ප්‍රතිඵල බෙදා නොදුන්නෙමු. අවශ්‍ය වන්නේ ගැටුම් වලට මුල් තැන දීම නොව, එක ට සහයෝගයෙන් ජීවත්වන ආකාරය පුරුදු කිරීම, ජාතියේ මූලික අවශ්‍යතාවය බවට පත්කර ගනිමු.

අපගේ වරප්‍රසාද නැති අහිංසක ජනතාවට ජීවිතයක් ලබා දෙන්නට ප්‍රයත්න දරමු.

අපගේ ආර්ථිකය සරුසාර කරන ප්‍රධාන පක්ෂයක් වන්නේ අපගේ කාන්තාවෝය. ඔවුහු සංක්‍රමණික ශ්‍රමිකයන් වශයෙන් මෙරටට විදේශ විනිමය එවති. අපගේ නිදහස් වෙළඳ කලාපය ක්‍රියා කරවන්නේත් කාන්තාවෝය. අපට පිට රට මුදල් ගෙනෙන තේ දල්ල කඩන්නේත් කාන්තාවෝය. ඔවුන් ගැන ජාතික මට්ටමෙන් සිතිය යුතු ය. අන් හැමටත් වඩා උත්තරීතර ස්වභාවික සම්පත් සාදන මේ රටේ මහිමය අප විසින් පාදා ගත යුතු වේ.

Views All Time
Views All Time
377
Views Today
Views Today
1

About The Author

Related posts