සත්හට සෙත් කළ අස්ගිරි නාහිමි

“අප්පලාභෝපි චෙ භික්ඛු
සලාභං නාති මඤ්ඤති
තං වෙ දේවා පසංසන්ති
සුද්ධා ජීවිං අතන්දිතං”

(ලද සුළු දෙය පවා ගරුකොට සලකමින් සුපවිත්‍ර දිවි පෙවෙතක් අප්‍රමාදව, ගතකරන යතිවරයෝ, දෙවියන්ගේ පවා ප්‍රශංසාව ලබති.)

ධම්මපදය – භික්ඛු වග්ග

සිරිලක බෞද්ධ ඉතිහාසයෙහි, මෑත සමයේදී අන් යති නේතෘවරයන් වහන්සේ නමක් විසින් නොලද ආකාරයේ, ගෞරවෝපහාර සම්භාරයකින්, අතිපූජ්‍ය, අස්ගිරි පාර්ශවීය මහානායක, උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත හිමිපාණෝ, පුද පූජා ලද සේක.‍

සමයාන්තර, නිකායාන්තර හා ජාත්‍යන්තර මට්ටමින් පෘථුල ලෙස ප්‍රණාම දහරකට පාත්‍ර වූ ඒ මහා හිමිපාණන් පිළිබඳව, ජපාන වාසී අප විසින්, වෙසෙසින් පළ කළ යුතු ප්‍රබල අදහස් කිහිපයක් ඇත්තේ ය.

ඒ අතිඋත්තර මහනාහිමියන්ට, ගරු බුහුමන් පෙරටු කොටගත් උපහාර පූජාවක යෙදෙන ගමන් ම, ඒ ශ්‍රේෂ්ඨ සංඝේශ්වරායණන් වහන්සේගේ උදාර නාමය, අනාගතයේදීත් ගෞරවාදරයට ලක් කෙරෙන ප්‍රබල යෝජනාවක්, ‘සිළුමිණ’ මගින්, ජනමතයට එකතු කිරීමත්, මේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථයකින් වන්නේ ය.

අද ජපානවාසී, යතිවරයෙකු වන මා, මේ යති උතුමා, ප්‍රථමයෙන් ම දුටුවේ, මා දහය – දොළහ වයසේ කුඩා දරුවෙකුව සිටියදීමයි.

කීර්තිශේෂ භාවෝපගත අස්ගිරි නාහිමි පාණන් වහන්සේගේ පන්සල පිහිටියේ අපට නුදුරු තැනකයි. එතුමා, අපට දැක බලා ගත හැකි වූයේ ඈත සිට ය.‍ පන්සල පිහිටි ගම්මානයේ, ලොකු – කුඩා කා සමඟත්, කාරුණික හැඟීමෙන්, සුහද සබඳතා පැවැත්වූ, මේ උතුම් යතිවරයාණන් අවට පෙදෙස්වල, වරප්‍රසාද, විරහිත, දරු පෙළට සැලකූ ආකාරය, මගේ මතකයෙහි දැඩි ලෙස රැඳී පවතී. ඇතැම් විටෙක, එවැනි දරුවනට, කාටවත් නොදැනෙන සේ එතුමෝ, ආහාර – පාන පවා දුන් සේක.

එවැනි මානුෂික ගුණ පළකෙරෙන ප්‍රවාද, සටහන් නොකෙරේ නම්, ඒ ශ්‍රේෂ්ඨ යතිනායකවරයාණන්ගේ චරිතාපදාන කථා සම්පූර්ණවන්නේ නැත.

මා පසුකලෙක පැවිදි ජීවිතයට එළැඹි පසුවත්, ඒ නායක හිමිපාණන්ගේ, අති උතුම් යහ – ගුණ දැක – බලා ගැනීමේ අවස්ථාව මට ලැබුණේ ය.

මම, තරමක් ළා – බාල යතිවරයෙකු වශයෙන් කලක් බුද්ධගයාවාසීව සිටියෙමි. ඒ කාලයේදී, එක් වතාවක, මේ අස්ගිරි නාහිමියෝ, දඹදිව වැඩම කළ සේක.

එතුමන්ගේ දඹදිව සංචාරයේ එක් අවස්ථාවක, එතුමන් හා සමඟ දුම්රියෙන් නව දිල්ලියේ සිට ලක්නව් නගරයට යන්නට මට අවස්ථාව උදා වූයේ ය. ඒ ගමන දුෂ්කරය. ගමන ආරම්භයේදී එතුමන්ට, තරමක් පහසු අසුනක් ලැබුණේ ය. එහෙත් ඇතැම් මගියන් මූණ පෑ, අපහසුතාවය දුටු උන්වහන්සේ, තමාගේ සුව පහසු අසුන වෙන අයෙකුට දී, රැය මුළුල්ලේ අපහසු ආසනයක හිඳ ගමනාන්තය තෙක් තරමක දුකක් විඳ දරා ගත් සේක. මෙවැනි මිනිස්ගුණ, එතුමන්ගේ අපරිමිත දයාව, අනුන්ගේ දුකේදී දුක්වීමේ ගතිය, සුහද වදනකට ඉඩ ඇති තැනකදී ප්‍රසන්න ලෙස කතා – බහේ යෙදීම වැනි ප්‍රශස්ත ජීවන ලක්ෂණ, එතුමන් ආයාසයෙන් මවා පෑ දේ නොවේ. ඒවා ඒ යතිනායකයාණන් වහන්සේගේ ජීවිතයෙහි අන්තර්ගතව තිබුණා. එතුමන් උපතින් ම ලබා තිබුණ ගති – පැවතුම් ය.

බෞද්ධ ඉතිහාසය පැත්තෙන් සැලැකීමේදී, අස්ගිරි මහානායක, අතිපූජ්‍ය බුද්ධරක්ඛිත යතීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ලංකාවේ මෑත යුගයන්හි පහළ වූ අග්‍රේශ්වර යති ප්‍රභූවරයාණන් වහන්සේ අතුරින් ඉස්මතුව පෙනෙන මහා සංඝනායක හිමිවරයන් වහන්සේ නමකි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස – 1753 නේදී ශ්‍රී ලංකා බෞද්ධ ශාසනය, අඳුරේ නිමග්නව තිබුණි. ඒ නරේන්ද්‍රයාණන්ගේ අනුග්‍රහයෙන්, අසරණ සරණ ශ්‍රී සරණංකර සඟරජ හිමිපාණෝ, සියම් දේශයෙන් උපසම්පදාව ලැබ, ශ්‍රී ලංකා ද්වීපයේ ‍බෞද්ධ ලෝකය, යළි ප්‍රභාවත් ලෙස දිදුලූ දෙවු සේක.

මෙයට අවුරුදු 262 කට පෙර ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රථම නාහිමි පදවියට පත් කරනු ලැබුවේ ගරුතර, ධම්ම සිද්ධි මාහිමියන් වහන්සේ යි.

අපවත්වී වදාළ ගරු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක හිමිපාණන් වහන්සේ, මේ අස්ගිරි පාර්ශ්වයේ විසිවන, මහානායක යතීන්ද්‍රයන් වහන්සේ යි.

එතුමන් විසින් ඉටුකරන ලද අසහාය ශාසනික හා ලෞකික මෙහෙය, අස්ගිරි පාර්ශ්වීය ඉතිහාස කථාවේ ස්වර්ණමය පරිච්ඡේදය වශයෙන් මැදහත් හැමෝම, එකහෙළා පිළිගනිති. එතුමන්ට, බෞද්ධ – අබෞද්ධ, ප්‍රාචීන, ප්‍රතිචීන රාජ්‍යවලින් පිදුණු උපහාර මාලාව, එතුමන්ගේ විශිෂ්ට ශාසන හා මානව මෙහෙය, උත්කර්ෂවත් ලෙස ප්‍රදර්ශනය කරන ප්‍රදීප ස්ථම්භ වැනි ය.

එහෙත්, එතුමන්ට දැක්වූ ඒ සුවිශිෂ්ට උපහාර කදම්බයෙන් ඈතට යෙමින්, එතුමාණන්ගේ සුවිශේෂී චරිතාපදානයේ දිදුල අනාගතයටත් නො අඩුව ගෙන යා යුතුව ඇත්තේ ය.

ඒ යතීශ්වරයන් වහන්සේ ශාසනික, ආධ්‍යාත්මික, ජාතික ශුභ සිද්ධිය පතා, හැම විටම අභීත හඬක් නඟාලූ සේක.

ඒ අසහාය හඬ අනාගතයේදීත් නො අඩුව රැව් – පිළි‍රැව් දෙමින්, දෝංකාර නඟමින් පවත්නා තැන‍ට, අප විසින් කළයුතු ප්‍රබල මෙහෙයක් මම දකින්නෙමි.

අස්ගිරි මහතා හිමියෝ පෘථුල ලෙස සමයාන්තර, නිකායාන්තර ජාත්‍යන්තර ප්‍රණාමය ලද සේක.

එහෙත්, මගේ ගෞරවනීය නිජබි‍ම වන පරිශුද්ධ ශ්‍රී ලංකා ද්වීපයේ ඇතැම් යතිවරයන් වහන්සේ, අද පවා දිවි පෙවෙත පවත්වා ගැනීමට අවශ්‍ය මූලික දේ පවා නොලැබ කටුක පැවිදි ජීවිතයක් ගත කරති.

ඔවුන්ට, නිසි සෞඛ්‍ය පහසුව, වෛද්‍ය චිකිත්සක උපදේශ ලබා ගැනීමේ මං, බේත් – හේත් නිසි කලට ලබාගැනීම ක්‍රම ආදිය, ලැබෙන්නේ නැත‍. අපේ ඇතැම් ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලා සහ පැවිදි බෞද්ධ ප්‍රභූවරුන්, එවැනි වරප්‍රසාද විරහිත යතිවරයන් උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාවේ යොදවන බව ඇත්තයි‍.

එහෙත්, මගේ යෝජනාව මෙයයි. අපවත්වී වදාළ අස්ගිරි මහ නාහිමි නාමයෙන්, ඒ වරප්‍රසාද විරහිත යතිවරුන්ගේ සුබ සිද්ධිය උදෙසා නොපමාව, ජාත්‍යන්තර අරමුදලක් හා ආයතනයක් ස්ථාපිත කළ යුතුවේ. මේ ශ්‍රී ලංකා දේශයෙන්, සෙසු බෞද්ධ අබෞද්ධ රාජ්‍යවලත්, මේ වරප්‍රසාද විරහිත හිමිපාණන්ට සෙත සලසනු කැමැති ගිහි පැවිදි ප්‍රබල ප්‍රභූවරු සිටිති. එවැනි අය විසින් නොපමාව, ‘අස්ගිරි නාහිමි’ නාමයෙන් එවැනි ආයතනයක් පිහිටුවා ගත යුතුවේ. මා නේවාසිකව සිටින ජපානයෙන් පවා එවැනි ආයතනයක් උදෙසා පෘථුල ආධාරෝපකාර සැපයෙනු නිරනු මානයි.

අපවත්වී වදාළ අස්ගිරි පාර්ශ්වීය විසිවන නායක මාහිමියන් වහන්සේට නිවන් සැප පතමින්, ඒ උදාරතර යති ප්‍රභූවරයාණන්ගේ උත්තරීතර නාමයට උපහාර වශයෙන් මේ යතිඋපකාරක ආයතනය අරඹන්නට අධිෂ්ඨාන කර ගනිමු.

Views All Time
Views All Time
352
Views Today
Views Today
1

About The Author

Related posts