බටහිර ලොවට සතිපට්ඨානය ඕනෑ වෙයි

“දුන්නිග්ගහස්ස ලහුනො
යත්ථකාම නිපාතිනො
චිත්තස්ස දමථො සාධු
චිත්තං දන්තං සුඛාවහං”

“සිත අල්ලා තබාගැනීම අපහසුය. සිත ඉතා ශීඝ්‍රවේග සහිතයි. සිත, කැමති, කැමති අරමුණකට යන්නේය. සිත දමනයකොට ගැනීම යහපත්ය. සිත සන්සුන්කොට ගත් තැනැත්තා සුවය ලබන්නේය. ධම්මපදයේ චිත්ත වග්ගය.

සියවස් විසිදෙකකටත් අධික කාල පරිච්ඡේදයක් මුළුල්ලේ, ශ්‍රී ලංකාව, බුදු දහම ඉතා ගැඹුරින් දැන සිටියේ ය. අපගේ උදාරතර මාතෘභූමිය වන, මේ පරිශුද්ධ ලක් දෙරණෙහි වාසය කළ සැදැහැවත්තු, මෙයට අවුරුදු දෙදහස් එකසිය පනහකට පමණ පෙර, බුද්ධ වචනය ග්‍රන්ථාරූඪ කොට තැබූහ.

මාතලේ ආලෝක විහාරයේ දී, එතෙක් කට පාඩමින් පැවත ආ ත්‍රිපිටක ධර්මය ලේඛන ගත කෙරිනි. එසේ ලියා තබන ලද පුස්කොළ පොත් ප්‍රමාණය අලි නවදෙනෙකු තරම් උස් වූයේ යැයි, වාර්තා ගත වෙයි. මෙසේ අපි, සියවස් ගණනක් මුළුල්ලේ බුද්ධ ධර්මය රැකගෙන එන්නෙමු. අපේ ගිහි පැවිදි බොහෝ දෙනා ඒ සනාතන දහමේ බෙලෙන්, උසස් මාර්ග ඵලවලට ද එළඹෙති.

එහෙත්, අද බටහිර ලෝකයේ පෘථුල ජන ප්‍රවාහයක් විසින්, අමා මෑණියන්ගේ දහමෙහි හරය, තමන්ගේ එදිනෙදා දිවිපෙවෙත සරුසාර කොටගෙන ආධ්‍යාත්මික ප්‍රගතියක් ලබාගනිමින් බුදුදහමේ ආරක්ෂකයන් වූ අපට පවා මා හැඟි ආදර්ශ හා මාර්ගෝපදේශ සපයන්නට පටන්ගෙන සිටිති. මේ මහා සද්ධර්ම පුනර්ජීවනය, අද බහුල වශයෙන් ප්‍රකාශයට පත්වන්නේ, ලෞකික හා භෞතික චර්යාවලින් ඉතා උස් කූටයකට නැඟ සිටින රාජ්‍යයක් වශයෙන්, ලොව සුපතළව සිටින ඇමෙරිකා එක්සත් ජනපද මහා රාජ්‍යයේයි. මේ දේශයේ ජනතාව, මනස සන්සුන් කොට ගැනීම සඳහා සති පට්ඨානය පුරුදු කරති. ඒ හා ආශ්‍ර භාවනා ක්‍රම ආදියේත් යෙදෙති. තාක්ෂණික වශයෙන් සහ සුඛෝපභෝගී ජීවන ක්‍රම පරිහරණය කිරීම් වශයෙනුත් අද ලොව අග්‍රගණ්‍ය දේශවලින් මුල් පෙළේ සිටින රාජ්‍යයක් හැටියට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි අද ව්‍යාප්තව තිබෙන ආධ්‍යාත්මික විප්ලවය, බොහෝ දෙනාට විස්මය දනවන සුළු සිද්ධි දාමයකි. ඒ මහා රාජ්‍යය, ප්‍රාන්ත පනහකින් තැනී තිබේ. අද ජනපද සියල්ලේම සතිපට්ඨාන ඇබ්බැහිය පවතී. එපමණක් නොවේ අලුත්ම වාර්තාවලට අනුව, බටහිර රාජ්‍ය තිහක පමණක් දැනට මේ සතිපට්ඨාන ශික්ෂණය ක්‍රමය පවත්නේ ය. මේ ප්‍රබල ආත්ම ශික්ෂණ විප්ලවයේ තතු සොයන්නට පෙර, මේසා විශාල ජන සංඛ්‍යාවක් සතිපට්ඨානය සොයා යෑමට තුඩුදුන් බලවේග කවරේද කියාත් අප විසින් සළකා බැලිය යුතු වෙයි.

මෙයට ප්‍රධාන හේතුව නම් ඒ ඉසුරුමත් රාජ්‍ය බොහොමයක වෙසෙන, ජනතාවගේ අභ්‍යන්තර තත්ත්වයයි. ඔවුන්ට යාන, වාහන, මිල, මුදල් උච්චතම කායික සුඛ විහරණ, ආදිය නො අඩුව තිබෙන්නේ විය හැකිය. එහෙත් ඔවුනතුරින් බොහෝ දෙනෙකුගේ මනස දැඩි ආතතියක ග්‍රහණයට අසුවී ඇත්තේ ය.

ඔවුන්ගේ සිත් සතන්වල සැනසීමක්, මතිමාත්‍ර වශයෙන් හෝ දැකිය හැකි නොවේ. ඔවුන් අධි වෙහෙසින්, හැඩ ගස්වා ගනු ලබන බාහිරාටෝපයෙන් දිදුලන, සරුව පිත්තල ලෝකයෙහි, අරුතක් ඔවුන්ට දැනෙන්නේ නොවේ. ඒ අයගේ ජීවිත භාජනවල හිස්බව, ඔවුන්ගේ ආතතිය තවතවත් තීව්‍ර කරන්නේ ය.

මෙවැනි ජීවන පීඩනයකින් මිදෙන්නට මං පෙත් සොයන මහා ජනකාය උදෙසා, අපරදිග උගතුන් කිහිපදෙනෙක්, සතිපට්ඨාන ශික්ෂණයක් නිර්මාණය කොට ගත්හ.

ඒ උගතුන් විසින් නිර්මිත, නවීන සතිපට්ඨාන ක්‍රමය නම් කෙරෙන්නේ, සිහිය පිහිටුවා ගැනීම පදනම්කොට, ගත් ආතති ප්‍රහීණ කිරීමේ චිකිත්සාව“වශයෙනි. එය ඉංගිරිසියෙන් නම් කෙරෙන්නේ. “මයින්ඩ්ෆුල්නස් බේස්ඩ් ස්ට්‍රෙස් රිඩක්ෂන්” යන යෙදුමෙනි. මේ නවීන සතිපට්ඨාන ආචාර්යවරුන්ගේ ආත්මාභ්‍යාස විධි, ඇතැම්විට, තරමක් සිනාවට සුදුසු යැයි යමෙකුට පෙනෙනු ඇත. කායික මානසික නිරෝගීතාවයක් හා ආධ්‍යාත්මික සුවයක් ගෙන එන රහස් මන්ත්‍රය එය බොහෝ දෙනා අවබෝධ කොටගෙන සිටිති. තමන්ට, ඒ මඟින් ලද හැකි වූ සහනය, කිසිසේත් මායාවක් නොව, ඉතාම පැහැදිලි ආධ්‍යාත්මික සන්සුන්බවක් හැටියට, මේ පාඨමාලාවට සහභාගී වූ බොහෝ දෙන පෞද්ගලිකවම අවබෝධකොටගෙන සිටිති.

බටහිර ලෝකයට මේ නවීන සතිපට්ඨාන ක්‍රමය ගෙන ආ අලුත්ම “සෘෂිවරයා” නම් මැසචුසෙස්ට් තාක්ෂණික ආයතනයේ විද්වතෙකු වූ “යොන් කබාට් සින්” බුදුහිමියන් මෙයට, අවුරුදු 2600 කට පෙර වදාරන ලද දහමක හරය, ඔහු සිය ශ්‍රාවකයන්ට පාඨමාලාවක් වශයෙන් පුහුණු කරන්නේය.

ආතතියෙන් පෙළෙන බොහෝ නවීනයන්ට මූණ පාන්නට සිදුවන අධි පීඩක අර්බුදය නම්, මේ මොහොතේ ඉටුකළ යුතු දෙය කෙරෙහි පූර්ණ චිත්තාවධානය යොමුකළ හැකි නොවීමයි. මේ නූතන සතිපට්ඨාන පාඨමාලාවේ මූලික අභිප්‍රාය වන්නේ, ශ්‍රාවකයාට සිය මනස සන්සුන් කොට ගන්නට න්‍යායයක් සම්පාදනය කොට දීමයි. අතීතයේ සිදුවූ දේ පිළිබඳව හෝ මත්තේ සිදුවිය හැකි දේ ගැන හෝ එතරම් සිත යොමුකොටගෙන මේ එළඹි මොහොත නාස්ති නොකොට දමන්නේ නැතිව මෙම මොහොත ගැන පූර්ණ චිත්ත අවධානය සහමුලින්ම යොමු කිරීමට ශ්‍රාවකයා පුහුණු කරනු ලැබේ. මෙය බුදුහිමියන් විසින් සතිපට්ඨානය ගැන එදා වදාළ සනාතන දහමේ, වර්තමාන ස්වරූපයක් වැනියි.

බුදු හිමියෝ එදා මෙසේ දෙසූහ.

“අතීතං නානු කපපන්නි,
නප්ප ජප්පමනාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති
පස වණෙණා පසීදති”

බුදුහිමියන් ධර්මය වදාළේ, බුද්ධ ශ්‍රාවකයන්ගේ මනසෙහි පහන් බව පිළිබඳ රහස විමසූ කෙනෙකුට පිළිතුරු වශයෙනි. බුදුහිමියන්ගේ පිළිතුරේ අරුත මෙසේය. “ඔවුහු (බුද්ධ ශ්‍රාවකයෝ) අතීතය ගැන තැවෙන්නෝ නොවෙති. ඔවුහු අනාගතය ගැන පුන පුනා ජප කරමින් සිටින්මෝත් නොවන්නාහ. ඔවුහු වර්තමානයෙහි මේ එළඹි මොහොතෙහි වෙසෙති. ඒ නිසා ඔවුන්ගේ මනස, ඡවි වර්ණය පැහැදිලිය. මේ සතිපට්ඨාන ක්‍රමය, බටහිර ලෝකයේ උසස් බුද්ධිමතුන්, ඉසුරුමත් ධනවතුන්, අති සාර්ථක ව්‍යාපාරිකයන් ආදීන් අතර, අද මුල්බැසගෙන තිබෙන්නේ, මෙය මෙතෙක් බටහිර ලෝකයා දුටු සාමාන්‍ය භාවනාක්‍රමයෙන් ඔබ්බට යන හෙයිනි. මේ මොහොතේ එළඹි ඉතා සුළු දෙයක් ගැන හෝ පූර්ණ අවධානය යොමු කරන්නට පුහුණුවීම, නවීන ලෝකයේ, පවත්නා අසීමිත ආරමිමණ වලින් ඒ මේ අත ඇදි ඇදී ගොස්, තමන්ගේ ජීවිතය නිෂ්ඵල කොට ගැනීමෙන් වැළකීමට ආධ්‍යාත්මය පුරුදු කරන මා හැඟි චිකිත්සා ක්‍රමයි. එළඹි සිහියෙන් සක්මන් කිරීම, සිහිය පිහිටුවාගෙන යම් යම් ක්‍රියාවන්හි යෙදීම ආදී අභ්‍යාස, මේ ආධ්‍යාත්මික ශික්ෂණයට අයත්ය. ඒ සියල්ලම, බුදුහිමියන්ගේ සතිපට්ඨාන ක්‍රමයෙහි ආගත ක්‍රම හා විධිය.

මේ නවීන සතිපට්ඨාන ක්‍රමය උගන්වන විද්වත්තු මෙය බුදුහිමියන්ගේ ධර්මයෙහි ඇතුළත් බව දනිති. එහෙත්, ඒ ගැන ඔවුන් සඳහන් නොකරන්නේ, නිගරුවකින් නොව, එවැනි දෙයකින් වුවද, මනසෙහි අවධානය බිඳි යා හැකි හෙයිනි.

බුදු හිමියන් විසින් සතිපට්ඨාන ක්‍රියාදාමයේ දී අනුදක්නාලද මූලික අභ්‍යාස ක්‍රමයක්වන ආනාපාන සති භාවනාවද, මේ නවීන “සෘෂිවරුන්” විසින් ඉතා පෘථුල වශයෙන් අනුමත කෙරේ. මේ නවීන සතිපට්ඨාන ක්‍රමය, ඉතා ප්‍රබල ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ ය. ඒ පිළිබඳව ලියැවුණු පොත් පත් සමූහය අතිශයින්ම බහුලය.

අද ලොව මහා ව්‍යාපාරය විසින්ද මේ නවීන සතිපට්ඨාන ක්‍රමය සඳහා පෘථුල සහයෝගයක් සැපයෙන්නේ ය. අමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උභය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරු පවා මේ ශික්ෂණය කෙරේ අද ප්‍රබල උනන්දුවක් දක්වති. ටිම්රයන් නමැති ඒ උභය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයා, මේ සතිපට්ඨාන ක්‍රමය කොපමණ අගේ කළේ ද කිවහොත්, ඔහු, මේ සතිපට්ඨාන ක්‍රමය රටේ විද්‍යායතනයන්ටද ලබාදිය යුතුයැයි යෝජනා කළේ ය. මේ මන්ත්‍රිවරයා, මෙම සතිපට්ඨාන ක්‍රමයට කොපමණ ඇබ්බැහි වූයේද කිවහොත්, ඔහු වරක් පැය තිස්හයක් මුළුල්ලේ නිහඬතාවය රැකගෙන, වචනයකුදු නොතපලා සිටියේ ය. ඔහුගෙ ආධ්‍යාත්මික ශික්ෂණය පිළිබඳ ග්‍රන්ථයක්ද කළේ ය. “එළඹ සිටි සිහියෙන් යුත් ජාතියක්” (මයින්ඩ්ෆුල් නේෂන් ) නමැති ඒ ග්‍රන්ථය, ඔහුගේ ගැඹුරු කැපවීම පිළිබඳව විශිෂ්ට නිදර්ශනයකි. සන්නද්ධ හමුදාවනටත් මේ සතිපට්ඨාන ක්‍රමය පුහුණු කරන්නට පුරෝගාමීහු පියවර ගෙන සිටිති. ශ්‍රී ලංකාව වැනි පෞරාණික සතිපට්ඨාන රාජ්‍යයක, අද යුගයේ දී, මේ ප්‍රායෝගික සන්සුන් සිත පිහිටුවාලනු පිණිස, විද්‍යාලයන්ටත් මේ සතිපට්ඨාන ක්‍රමය යොමුකළ යුතු වන්නේ ය. මේ රටේ බොහෝ දෙනා, අපට අයත් මහා ධන නිධානවල ශ්‍රේෂ්ඨත්වය අවබෝධකොට ගන්නේ විදේශිකයන් ඒවායේ අගය, ඇති සැටියෙන් දැක, ඉන් උච්චතම සෙත ලබාගන්නට පටන් ගත් විටයි.

Views All Time
Views All Time
351
Views Today
Views Today
1

About The Author

Related posts