මෛත්‍රී – මෝදි හමුව

‘ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වන්නේ,භෞතික දේ වෙනස් කරන අය නොව, සන්තානය

වෙනස් කළ හැකි තැනැත්තෝය.’

රැල්ෆ් වොල්ඩො එමර්සන්(1803 – 1882) ඇමෙරිකානු පඬිවරයා

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමේ සිද්ධිය, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික යතිවරයකු වශයෙන් මා කෙ‍රේ බලපෑ හැටි “සිළුමිණ” ට ඉතාම උචිත පුවතකැයි මම සළකමි.

ජපානයේ නව අගමැති නරේන්ද්‍ර මෝදි මෙයට මාස කිහිපයකට පෙර නිල සංචාරයෙක යෙදී ජපානයට ආයේය. ඒ චාරිකාවේදී, අගමැති මෝදි මහතාගෙන් ප්‍රකාශ වුණු ඇතැම් යහගුණ මගේ සන්තානයෙහි ඉතා දැඩි ලෙස ස්ථාපිත වූයේය. ඒ නිසාම, ශ්‍රී ලංකා නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ සංචාරයක යෙදී එහි අගමැති මෝදි මහතා හා සමඟ සුහද හමුවකින් එක්වූ ආකාරය, විශේෂ අවධානයට ලක්විය යුතු ප්‍රවෘත්තියකි.

නොබෝදා, ජපාන සංචාරයෙක යෙදුණු ඉන්දියා අගමැති මෝදි මහතා, සිය චාරිකාවේ ප්‍රථම පියවර සඳහා තෝරා ගත්තේ ජපානයේ “බෞද්ධ අගනුවර” වශයෙන් සම්මානය ලබන, ඉපැරණි ‘ක්යෝතෝ’ නගරයයි.

ගිවිසුම්

සිය හිතමිතුරු ජපන් අගමැති ෂින්සෝ අබේ සමඟ, ක්යෝතේ නගරයේ බෞද්ධ සිද්ධස්ථාන නැරඹූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා, අතිශයින් සිත පහදවන ගිවිසුමකට එළඹියේය. අගමැති මෝදි මහතාත්, ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාත් එකඟවූ කරුණ, ශ්‍රී ලංකාවේ අපට වෙසෙසින් ම අ‍ගනේය.

මෝදි මහතා, ජපාන අගමැතිවරයාට කියා සිටියේ, ජපානය විසින් දඹදිව බරණැස් නගරය, ජපානයේ ක්යෝතේ නගරය හා සමඟ එක්ව සංවර්ධනය කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ ඕනැම කෙනකු දන්නා පරිදි දඹදිව බරණැස් නුවර බුදු සමයේ ප්‍රභව ස්ථානයයි. බුදු හිමියන් සිය සනාතන දහම ප්‍රථම වරට ලොවට ප්‍රකාශ කළේ, බරණැස් නුවර, ඉසිපතනයේ මිගදායේදීය. එහිදී බුදුහිමියන් පස්වග මහණුන්ට “ධම්ම චක්ක පවත්තන සූත්‍රය” දේශනා කළ විට බුදුහිමියන්ගේ ධර්‍මය ප්‍රථමවරට ලෝකයාට දැනගත හැකි විය.

කාර්මික ව්‍යාපාර දියුණු කරන්නට හෝ, මහ නගර තනන්නට හෝ, තාක්ෂණික මධ්‍යස්ථාන පිහිටුවන්නට හෝ ගිවිසුම්වලට නො එළඹී. අගමැති මෝදි ගෙ මහා බෞද්ධ සිද්ධස්ථානය වන බරණැස් නුවර දියුණු කරන්නට ජපන් අගමැති ෂින්සෝ අබේ මහතා හා සමඟ ගිවිසුමකට එළඹීම බෞද්ධ ලෝකයට මෙන් ම, පොදුවේ මානව සංස්කෘතියට, කොපමණ අගනේද?

ජනරජ දිනය

ඉන්පසුවත්, ඉන්දීය අගමැති මෝදි මහතා, ශ්‍රී ලංකාවේ අපට ඉතා වැදගත් සිද්ධියක් හා සම්බන්ධ වූයේය. මෙවර ඉන්දියාවේ ජනරජ දිනය පැවැත්වීමේ උලෙළට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ ඇ‍‍මෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාය. ඔබාමා ඉන්දීය සංචාරය උදෙසා එතුමාට සිහිවටනයක් වශයෙන් ඉන්දියාව විසින් නිල වශයෙන් පිළිගන්වන ලද්දේ බුදු පිළිමයකි.

එපමණක් නොවේ. අගමැති මෝදිගේ ආරාධ‍නයෙන්, ජනාධිපති ඔබාමා සිය චාරිකාවේ සංකේතයක් වශයෙන් බෝ පැළයක් රෝපණය කළේය.

මෙය ශ්‍රී ලාංකික අපට සතුට දනවන සිද්ධි මාලාවක් නොවන්නේද? එය බෞද්ධ – අබෞද්ධ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම අතිශයින් ම ප්‍රමෝද පුවත් පෙළකි.

මෙවැනි පසුබිමකදී ශ්‍රී ලංකා නව ජනපතිවරයා සිය ප්‍රථම නිල චාරිකාව ඉන්දියාවට යොදා ගැනීම වෙසෙසින් ම නව ඓතිහාසික පරිච්ඡේදයක් වශයෙන් සටහන් වන්නකි. ඇමෙරිකානු ජනාධිපති ඔබාමා තමා විසින් පැළකරන ලද‍ බෝ පැළයට වැඳගෙන සිටින ආකාරය, අන්තර්ජාලය මඟින් ලෝකයාට දැකගත හැකිවූ බවද, මේ ඓතිහාසික සිද්ධියට සැපයෙන විශේෂ අටුවාවක් වශයෙන් සටහන් කළ යුතුය.

මෙසේ ශ්‍රි ලංකාවේ අප ඉතා ඉහළින් ගරු කළ හැකි, සාමයික හා සංස්කෘතික ප්‍රතිපත්තියක් අනුගමනය කරන මෝදි ආදර්ශවත් නායකයෙක් වශයෙන් ජගත් කීර්තියට පත්ව සිටී. ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද, ඒ ආකාරයෙන් ම ආදර්ශවත් ජනනායකයකු බව, ජපානයේ සිට අපගේ මාතෘ භූමිය දෙස බලන අප සියලු දෙනාටම පැහැදිලිය.

සරල දිවි පෙවෙත

ජනපති පදවි ප්‍රාප්ත‍යේ දිවුරුම් දෙනු පිණිස නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වන ලද සරල ක්‍රියාදාමය ප්‍රශස්තය.

සරල, චාම් දිවි පෙවෙතක් අගයන ජපන් ජාතිකයෝත්, අප නව ජනපතිවරයාගේ ආදර්ශයෙන් පැහැදුණහ. සිය ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය ඓතිහාසික වශයෙන් මෙන් ම හා සංස්කෘතික වශයෙන් විශිෂ්ට ක්‍රියාවකි.

අසල්වැසි දඹදිව් රාජ්‍යය විසින් අපගේ දිගු ඉතිහාසය මුළුල්ලේ අපට දායාද කරන ලද “තිළිණ” සම්භාරය අපගේ ශ්‍රී ලංකා දේශයට විශිෂ්ටත්වයක් ලබා දුන්නේය. අපගේ ජන ජීවිතය හා සමඟ, අවියෝජනීය ලෙස බැඳී පවත්නා බුදුදහම, අපට ඉන්දියාවෙන් පිරිනැමුණු අකාලික නිධානයකි.

ශ්‍රී මහා බෝධි ශාඛාව, අපගේ ශ්‍රී ලංකා දේශයට අරක්ගෙන වැඩ සිටින්නේ සාමයික වශයෙන් මෙන් ම, ඓතිහාසික වශයෙන් ද, අපට සම්භාවනීයත්වයක් අත්පත් කොට දෙමින් ය. ශ්‍රී මහා බෝධිය, සිදුහත් තවුසාණන්ට, සම්මා සම්බෝධිඥානය පහළ කොට ගන්නට සෙවණ සැපයූ අසහාය වෘක්ෂ රාජයාණෝය. තමන්ට පිහිටු වූ අජීවී වස්තුවකටත් සිය කෘතඥතාව පළ කොට, කළගුණ සැලකීමේ මහඟු මානව ගුණය පිළිබඳව ලෝකයාට ඉහළම ආදර්ශය සපයන්නට බුදුහිමියන්ට අවස්ථාව සපයන ලද්දේත් මේ වෘක්ෂ රාජයාණන් වහන්සේ විසිනි.

සංකලනය

එමෙන්ම, අපට දඹදිවින් තිළිණ කෙරුණු ශ්‍රී මහා බෝධිය, ලෝකයේ ඉපැරණිම ඓතිහාසික වෘක්ෂයයි. එයද, ශ්‍රී ලංකාවේ ජාතික ගෞරවයට ඉමහත් අගයකි.ජගත් ජන මණ්ඩලයෙහි, බෞද්ධ අබෞද්ධ කාගේත් සම්මානයට පාත්‍රවන ශ්‍රී දළදා වහන්සේ ද, අපට පිරිනමන ලද්දේ ඉන්දියාව විසිනි.

මේ සියලු දේ සංකලනය කළ කල්හි, ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දඹදිව සංචාරය ප්‍රශස්ත ඓතිහාසික කාර්යයකි.ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පක්ෂය සහ සෞඛ්‍ය සංරක්ෂණ අංශත්, දියුණු කිරීම සඳහා සහාය වන බව, මේ සංචාරය පිළිබඳව ඉදිරිපත් කෙරෙන වාර්තාවලින් ප්‍රකාශ වේ. ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන රැක ගැනීම සඳහා සහ ඒවායේ ප්‍රගතියත් උදෙසා අගමැති මෝදි රජය විසින් ශ්‍රී ලංකාවට බොහෝසේ පිහිටාධාරාවන බව මේ සංචාරයෙන්, අතිශයින්ම ඉස්මතුව පෙනුණේය.

බුද්ධාගමේත් ‍බෞද්ධ සංස්කෘතියේත් සංවර්ධනය සඳහා මෙසේ කැපවී සිටින ඉන්දියා අගමැතිවරයා එතුමාගේ දේශයේ බැතිමතුන්ගෙන් ලැබෙන උපහාර පිළිබඳ අපූරු පුවතක් ද මෑතදී අසන්නට ලැබුණේය.

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි උදෙසා ඉන්දියාවේ දේවාලයක් ඉදිකොට තිබෙන බව ඉන් ප්‍රකාශ වූයේය. රුපියල් පසළොස් ලක්ෂයක් වැය කොට, නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ ජීව ප්‍රමාණයේ ප්‍රතිමාවක් ද එහි පිහිටුවා ඇත්තේය. බැතිමත්තු ඈත පළාත්වලින් පවා පැමිණ ඒ දේවාලය වන්දනා කරති.

එහි පුද පූජා පවත්වති. මෙසේ මහජන බුහුමනට පාත්‍රව සිටින ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වා ගෙන යනු ලබන සම්බන්ධතා මාලාව, ඉන්දු – ලංකා සබඳතා පිළිබඳ අලුත් අර්ථවත් ආරම්භයක් සනිටුහන් කරන්නක් බව ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ‍වන අපි දකිමු. තව ටික දිනකින් නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට සැපැත්වූ විට, ඒ සබඳතා තව තවත් තහවුරු වනු ඇත.

Views All Time
Views All Time
279
Views Today
Views Today
1

About The Author

Related posts