ආර්ථික සංවර්ධනයේ අැරඹුම මහින්දාගමනයයි

අනුබුදු මිහිඳු මාහිමියෝ හුදෙක් බුද්ධ ධර්මය මේ රටට ගෙනාවා පමණක් නොවෙයි. විවිධ ක්ෂේත්‍රවල වෙනසක්, ප්‍රබෝධයක් මෙන් ම වර්ධනයක් ඇති කළහ. ඒ හැම වර්ධනයක් ම රටේ ආර්ථික සංවර්ධනයට හේතු විය. රටක ආර්ථික සංවර්ධනයට බුදු දහමින් ඉතා අගනා මඟ පෙන්වීමක් සිදු විය. ආර්ථික තත්ත්වය රටක සදාචාරයට ප්‍රබල සාධකයක් වන්නේය.

චක්කවත්ති සීහනාද සූත්‍රයේ පෙන්වා දුන්නේ ආර්ථික දුෂ්කරතාව සදාචාර පරිහානියට හේතු වන බවත් සමෘද්ධිමත් වීම සදාචාර සම්පන්න වීමට හේතු වන බවත්ය. මේ දේශපාලන න්‍යාය බුදු රජාණන් වහන්සේ හඳුන්වා දුන් අතර මිහිඳු මාහිමියෝ ශ්‍රී ලංකාවට ගෙන වැඩියහ.

දෙවන පෑතිස් රජතුමන්ගේ සිට ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා දක්වා සියලු සිංහල රජවරුන් රටේ ආර්ථිකය නංවන්නට, ජනතාව සුඛිත මුදිත ව තබන්නට උත්සාහ කළේ බෞද්ධ උපදේශනයට අනුවය. වැඩවසම් යුගයක් ලෙස ඒ රාජාණ්ඩු කාල තුළ දී ජනතාවගෙන් කිසිම කැරැල්ලක් රජුට විරුද්ධ ව ඇති නොවූයේ එම සුබසාධන පාලනයක් වූ නිසයි. ඇති වුණු සියලු කැරලි, යුද්ධ සියල්ල ම, පාලන බලයට පොර කෑ රාජකීයයන් අතර සටනක් හෝ විදේශ ආක්‍රමණයකට එරෙහි සටනක් ය.

එහෙත් බටහිර රටවලත් පෙරදිග ඇතැම් රටවලත් පාලකයන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ ජනතා පීඩනයට එරෙහිව ය. එබඳු තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ඇති නො වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ හා සංඝ රත්නයේ උපදේශනයට අනුව සිංහල රජුන් ආර්ථික තත්ත්වයෙන් ජනතාව ඉහළට ගත් නිසාය. ආදර්ශවත් ලෙස කටයුතු කළ නිසාත් හැම රජකුම තරගකාරී ලෙස වැව් අමුණු බැඳීම හා වෙහෙර විහාර ඉදි කිරීම සිදු කළ බව මහාවශයෙන් කියවේ. ජනතාව ඉතා ශිෂ්ට සම්පන්න සදාචාර සම්පන්න ජාතියක් වූයේ ද ස්වයංපෝෂිත බව නිසාය. ධර්මයෙන් ශික්ෂිත වූ නිසාය.

ආර්ථික සංවර්ධනයට ඉවහල් වන සෑම ක්ෂේත්‍රයක ම ප්‍රගතියක් ඇති කිරීමට මිහිඳු මහ රහතන් වහන්සේ ක්‍රියා කළ බවට ඓතිහාසික සාධක ඇත. ගෘහ නිර්මාණ ශිල්පයේ විශාල දියුණුවක් දෙවන පෑතිස් රජ සමය තුළ හා ඉන් පසුව ඇති වූ බව පෙනේ. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සමඟ පැමිණි සොළොස් කුලයක කලා ශිල්පීන් අතර ගෘහ නිර්මාණ ශිල්පීහු ද සිටියහ.

ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයත් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ උපදේශකත්වයත් නිසා පූජනීය ස්ථානවල සියලු විහාරංග ඉතා අලංකාර ව ශක්තිමත් ව ගොඩ නැඟුණු බවට සාක්ෂි ඇත. දේශීය ගෘහ නිර්මාණ ශිල්පයක් පැවැතිය ද එය අබිබවා වේගවත් ගමනක් යාමට මහින්දාගමනය හේතු විය. මහ මෙවුනාවේ මහා විහාරය, ථූපාරාමය, ලංකාරාමය, හත්ථාල්හක මෙහෙණාවර ඇතුළු සුවිසල් මෙහෙණා අසපු ආදිය ඉදිවූ ආකාරයෙන් ඒ බව තහවුරු වෙයි.

උන් වහන්සේට ඉතා ආසන්න කාලයේ ලොවා මහා ප්‍රාසාදය වැනි නව මහල් සුවිසල් ගොඩනැඟිලි ඉදි කිරීම, ජේතවනාරාම ස්තූපය, අභයගිරිය ස්තූපය හා රුවන්වැලි සෑය වැනි අහසේ වලාකුළු සිප ගන්නා තරම් උස දාගැබ් ඉදි කිරීම ගෘහ නිර්මාණ ශිල්පයේ උන්නතිය නොවේ ද? එය ආර්ථික සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ඉසිලීය.

වාරි තාක්ෂණය මෙරටට ආවේණික වූවක් වුවත් මිහිඳු මාහිමියන්ගේ වැඩම වීමෙන් පසු වඩාත් වේගවත් වූ බව පෙනුණි. මුල් යුගයේ සිට වැව් ඉදි කිරීමට පැරණි හෙළයන් පුරුදුව සිටි බවට හොඳම සාක්ෂියක් වෙන්නේ දෙවන පෑතිස් රජතුමන් තම මලණුවන් වන මහානාග යුව රජුට තරච්ච වැව ප්‍රතිසංස්කරණය කිරීමට බාර දීමය. එය ගොඩනඟා තිබුණේ යක්ෂ ගෝත්‍රිකයන්ය. බෞද්ධ ආභාසය ලැබු රජුන් විසින් ඉදිකරන ලද තිසා වැව, පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැව, යෝධ ඇළ ආදියෙන් වාරි තාක්ෂණයේ දියුණුව පැහැදිලි වෙයි. යෝධ ඇළ හෙවත් ජය මඟ ඇළ විස්මිත නිර්මාණයක් වන්නේ සැතපුම් 16 කට එක් අඩියක් බෑවුම තිබුණත් ඉතා වේගයෙන් ජලය බැසීම නිසාය. ආර්ථික සංවර්ධනයට වාරි මාර්ග සංවර්ධනය පදනම් වූ අතර වැවත් දාගැබත් එකට සම්බන්ධ ව තිබුණි.

කෘෂි කර්මාන්තයේ වේගවත් සංවර්ධනයක් බුදු දහමත් සමඟ ඇතිවිය. එසේ වූයේ මිහිඳු මහ රහතන් වහන්සේත් උන්වහන්සේගෙන් පැවත ආ මහා සංඝ රත්නයත් රාෂ්ට්‍ර පාලකයන්ට අනුශාසනා කළ නිසාය. බුද්ධ දේශනාවල ඇති ආර්ථික දර්ශනය උකහාගත් සිංහල රජවරු තරගකාරී ලෙස වැව් අමුණු ගොඩ නැඟුවේ, පැරණි ඒවා ප්‍රතිසංස්කරණය කළේ ඒ මඟින් කෘෂි කර්මාන්තය දියුණු කිරීමට ය. ඇතැම් විට රජුන් ද ගොවිතැන් කරවූයේ ජනතාවට ආදර්ශයක් දෙමින් ඔවුන් උනන්දු කරවීමත් සඳහා ය.  පොළොන්නරු යුගයේ සහලින් ස්වයංපෝෂිත වූ අතර විදේශ රටවලටත් සහල් හා අනෙකුත් ආහාර භෝග අපනයනය කෙරිණි. ඒ නිසා පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය ශ්‍රී ලංකාවට ලබා ගත හැකි විය.

කාර්මික සංවර්ධනය ද ආර්ථික දියුණුවට ඉවහල් විය. යකඩ හා වානේ කර්මාන්තය, දියුණුව පැවැති බවට අනුරාධපුරය අවට ගම්වල යබොර ගොඩගැසී තිබීමෙන් සනාථ වෙයි. අටලොස් කුලය ශිල්පීන් අතර ලෝහ කාර්මිකයන් ද සිටින්නට ඇත. ලෝවාමහා ප්‍රාසාදයේ වහල සම්පූර්ණයෙන් ම ලෝහ තහඩුවලින් සාදා තිබීමෙන් ඒ බව තහවුරු වෙයි. මහා පරාක්‍රමබාහු මාලිගාවේ නටබුන් අතර උණු වී ගිය ලෝහ පැවතීමෙන් යකඩ හා වානේ භාවිත වූ බවට සාධක තිබේ. රන් රිදී තඹ බහුල ව භාවිත වූ බවටත් ඒවායින් ප්‍රතිමා, කරඬු, ස්වර්ණාභරණ ආදිය අලංකාර ලෙස නිපදවූ බවට සාධක බහුලය.

මිහිඳු සංස්කෘතිය සමඟ ජනතාවට අවශ්‍ය ආරාමවලට අවශ්‍ය හැම අංශයක ම කාර්මික දියුණුව ඇති විය. පේෂ කර්මාන්තය, මැටි කර්මාන්තය, මැණික්, ඇත් දළ, ලී කැටයම් ආදි කර්මාන්ත වැඩි දියුණු විය. දේශීය වෙළෙඳාම මෙන් ම විදේශීය වෙළඳාම ද සරු විය. සේද මාවතේ වැදගත් මධ්‍යස්ථානයක් වූ ශ්‍රී ලංකාව වාණිජ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකට වී තිබිණි. දඹකොළ පටුන, ලංකා පටුන, සීනිගම (සීනි යනු ග්‍රීක් බසින් වරායයි) කිරින්ද වැනි වරාය ඒ බව සනාථ කරයි.

කලා ශිල්පයන්ගේ දියුණුව ද ආර්ථික උන්නතියට බෙහෙවින් ඉවහල් වේ. එසේ ම ආර්ථික දියුණුව කලා ශිල්පයන්හි උන්නතිය ඇති කිරීමට ඉවහල් වේ. මහින්දාගමනයත් සමඟ කලා ශිල්ප ඉතා වේගවත් ලෙස උන්නතිය කරා ගමන් කෙළේය. විහාරස්ථාන ඇතැම් විට කලාගාර විය. කැටයම්, මූර්ති, චිත්‍ර අනිවාර්යයෙන් ම වෙහෙර විහාර සමඟ අත්වැල් බැඳ ගත්තේ ය. විහාරස්ථානවල පැවැත්වුණු පෙරහර සමඟ නැටුම් ගැයුම් වැයුම් පෙරට ආවේය. අනුරාධපුර යුගයේ ම අභයගිරි විහාරයේ දළදා පෙරහර සමඟ මඟ දෙපස ජාතක කතා චිත්‍රවලට නඟා වර්ණවත් ලෙස පැවැති ආකාරය මහා වංසයේ ඉහළින් වර්ණනා කර ඇත.

කලා ක්ෂේත්‍රයේ දියුණුව ද මහින්දාගමනය නිසා ඇති වුණු අතර එය ද රටේ ආර්ථික දියුණුවට ඉවහල් වූ බව පැහැදිලිය. මේ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ නිසා පැරණි ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනයෙන් පෙරමුණට ගිය බව තහවුරු වන්නේය.  බුදු සමය අශෝක අධිරාජයාගේ අවි බිම තැබීමට උපකාරී වුවාක් මෙන් ම, දෙවන පෑතිස් රජතුමාගේ අවි බිම තැබීමට ද උපකාරී විය. අප රට ධර්මද්වීපයක් බවට පත් වූයේ ඉන් පසුවය. ඉතිහාසයට එබී බැලීමේ දී දෙවන රාජසිංහ රජු සමයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතිකයකු වූ රොබට් නොක්ස් ඔහුගේ ඉතිහාස ග්‍රන්ථයක මෙසේ සඳහන් වේ.

“ලංකාවේ ස්වාභාවික ලෙස ජනිත වූ සිංහල මනුෂ්‍යයෝ සොරකම් කිරීම තුච්ඡ ක්‍රියාවක් කොට සලකති. ඔවුන් කිසි කලක සොරකම් කොට ජීවත් වූ බවක් ද මා අසා නැත. එහෙත් විදේශවලින් පැමිණි බොහෝ අය සොරකමේ යෙදුණෝය.” සොරකම සිංහලයෝ හෙළා දකිති. දුසිරිත් අතුරින් ඔවුන් ඉතාම අඩුවෙන් යෙදෙන්නේ සොරකමෙහි බව කිව හැකිය. සිංහලයෝ වෛරකාරයෝ නොවෙති. මත්පැන් පානය නොකරති. අඬදබර කෝලාහලවලදී ලේ ගැලීමක් දක්නට වෙතොත් කලාතුරකිනි. මනුෂ්‍යයන් හට ගරු කරති. ඔවුන්ගේ ආගන්තුක සත්කාරය අතිශයින් උත්තරීතර බව අපට ප්‍රත්‍යක්ෂ අවධාරණය කොට ඇත.

1870 දශකයේ අනුරාධපුර පළාතේ මහේස්ත්‍රාත් ධූරය දැරූ ඉංග්‍රීසි ජාතික ලිශිං මෙසේ සඳහන් කොට ඇත. “අටමස්ථාන” සොළොස්මස්ථාන වැඳ ගැනීම සඳහා අනුරාධපුරයට පැමිණි සංඛ්‍යාව 20,000 පමණ යැයි මා කල්පනා කරමි. මේ පූජා භූමිවල කාසි තබන යකඩ පෙට්ටි මුරකරුවන් තිදෙනෙකු බාරයේ පැවැති නමුත් එය මිනිසුන් ස්වල්ප දෙනෙකුට පහසුවෙන් පැහැර ගත හැකිව තිබුණේ ය. එකම පොලිස් භටයෙක්වත් නොමැති මේ භූමියට රට හැම තැනින් 20,000 ක් පමණ සෙනඟ වර්ෂයක් පසා රැස්වී කටයුතු කර ආපසු යති. ඔවුන් අතරේ දබරයක් ගැන කිසිත් අසන්නට නැත. පළාතේ මහේස්ත්‍රාත් ධූරය උසුලන මා විසින් කිව යුතුව තිබෙන්නේ ඔවුන් අතරේ විද්‍යමාන වූ යහපත් පැවැත්ම ද සන්සුන් ලීලාව ද පැරදවිය හැකි ගුණාංගයන් ගෙන් යුත් බවක් ඔහු පවසති.”

මහින්දාගමනයෙන් පසුව කෘෂිකර්මය, වෙළඳාම, වාරි කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පය, චිත්‍ර හා මූර්ති කලාව, සාහිත්‍ය, ලේඛන ක්‍රම, අපට ලැබී ඇත. එහි දියුණුව මිහින්තලය, අනුරාධපුරය, අවුකන, විජිතපුරය, සීගිරිය, දඹුල්ල, පොළොන්නරුව ආදි නටබුන්වලින් පැහැදිලි වේ. මහාවංශ, චූලවංශ ආදි ඉතිහාස ග්‍රන්ථවලින් ඒ බව සනාථ වේ.

මහසෙන් රජතුමා විසින් කරවන ලද ජේතවන දාගැබ ගැන ශ්‍රීමත් ජේ. එමර්සන් ටැනන්ට් තුමා ඛ්ඥරතධද නමැති තම කෘතියෙහි මෙසේ සඳහන් කර ඇත.  “මේ විශාල ගොඩනැගිල්ලට ගෙන තිබෙන ගඩොල් සහ හුණු යන ද්‍රව්‍යයන්ගේ ප්‍රමාණය පුදුමය එලවයි, එහි විෂ්කම්භය අඩි 360 ක් ද, උස අඩි 249 ක් ද වේ. මුළු බැම්මේ ප්‍රමාණය ඝන අඩි දෙකෝටියකට අධික වේ.  වර්තමාන කාලයෙහි, ගොඩනැඟිලි තැනීමට සාදාගෙන තිබෙන යන්ත්‍රවල ආධාරය ද ඇති ව කර්මාන්තකාරයන් පන්සිය දෙනෙක් ගඩොල් බැඳීමෙහි යෙදී වැඩ කළොත් වර්ෂ හතකින් පමණ ජේතවන දාගැබ තරම් විශාල ගොඩනැඟිල්ලක් තැනිය හැකි ය.

ලැබුවා වූ පොසොන් පුන් පොහෝ දින අනුබුදු මිහිඳු හිමියන්ගේ පැමිණීම සිහිපත් කරමින් ජාතියේ මුතුන් මිත්තන්ගේ ඉංජිනේරු තාක්ෂණය යොදා ආසියාවේ ආශ්චර්යවත් රට ගොඩ නැඟීමේ කාර්යයට රට වැසියෙනි එකතු වෙමු. ශ්‍රී ලංකාවෙන් බැහැරව ජීවත්වන හිමිනමක් වශයෙන් අතීත විභූතියේ විශිෂ්ටත්වය ?ශ්‍රී ලාංකික අපේ අභිමානය පැහැදිලිව වෙන් වශයෙන් දකිමි.

Views All Time
Views All Time
355
Views Today
Views Today
1

About The Author

දහම් සෙවනේ සිඟිත්තෝ ළමා සංවර්ධන පදනම

Related posts