ජනපතිගේ ජපන් සංචාරය​

ජනපතිගේ ජපන් සංචාරය වෙනුවෙන් එරට – මෙරට බුදු දහම දියුණු කරන්න වැඩ පිළිවෙළක් හදනවා

වසර 15 කට ආසන්න කාලයක් ජපානයේ වැඩ වාසය කරමින් දෙරට අතර බුදු දහම ඇතුළු දෙස් විදෙස් සබඳතා ඇති කරලීමට සමත් වූ දහම් සෙවණ සිඟිත්තෝ ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ සුදුහුම්පොළ විමලසාර හිමියන් මේ දිනවල දිවයිනට වැඩම කර සිටිති. ජනාධිපතිතුමාගේ ජපන් සංචාරය අද (10) ඇරැඹීමට නියමිත අතර දෙරට අතර මිතු දහම වැඩිකර මෙරට ප්‍රතිරූපය අන්තර්ජාතික තලයට ගෙන යාමට අප සැවොම කටයුතු කළ යුතු බව උන් වහන්සේ පවසති. මේ ලිපිය උන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවකි.

වසර 15 කට ආසන්න කාලයක් ජපානයේ වැඩ වසන ඔබ වහන්සේ ජපානයේ සහ ලංකාවේ බුදු දහම අතර වෙනස දකින්නේ කෙසේ ද?

වරින්වර බුදු දහමේ ඇති වූ වෙනස්කම් මත මහායාන හා ථෙරවාද වශයෙන් නිකායන් ඇතිවුණා. ජපානයේ දකින්නට තියෙන්නේ මහායාන බුදුදහමයි. අපේ රටේ ථෙරවාද බුදු දහම අදහනවා.

බාහිරින් සිට බලන විට අපේ රටේ බුදු දහමේත් ජපානයේ වගේම අනෙක් බෞද්ධ රටවල බුදු දහමේත් දකින්නට තියෙන ප්‍රධාන වෙනස ඇත්තේ සැලසුම් සහ සම්බන්ධීකරණයේ බව කියන්න ඕන.

ඕනම බෞද්ධ රටක ආගම දහම පිළිබඳව හොඳ සැලැස්මක් තියෙනවා. අපේ රටේ එහෙම එකක් නැති බවයි පේන්නේ. අපේ රටේ බොහෝ දෙනා නිදහසින් අයුතු ප්‍රයෝජන අරගෙන තියෙන බවත් පෙනෙනවා. සැලසුම් සහගත මෙහෙයවීමක් බුදු දහම තුළ දකින්න නැහැ.

මේ සැලසුම් සහගත මෙහෙයවීම ජනාධිපතිතුමාට නැත්නම් රජයට කරන්න බැහැ. අපේ භික්ෂුන් වහන්සේ විසින්ම කළ යුතු වෙනවා. එසේ නොවන නිසයි අපේ රටේ බුදු දහම යම් මට්ටමකට පිරිහීමට පත්වෙලා වගේ පෙනෙන්නෙ.

ලංකාවේ ප්‍රධාන නිකායන් 3 ක් තිබෙනවා. ඒ ඒ නිකාය තුළත් අනු නිකායන් මහ නාහිමිවරුන් දක්නට ලැබෙනවා. ඔබ වහන්සේ පවසන්නේ මෙසේ නිකාය වැඩිවීම මෙරට බුදු දහමට බලපෑමක් වී ඇති බව ද?

ඇත්තෙන් ම ලංකාවට වඩා නිකායයන් ජපානයේ දක්නට තියෙනවා. නිකායයන් විශාල ප්‍රමාණයක් තියෙනවා.

නමුත් ඒ හැම නිකායකම සැලසුමක් ප්‍රතිපත්තියක් වගේම ව්‍යවස්ථාවක් දක්නට තියෙනවා. අද පැවිදි බවට පත්වූ අයෙක් වුවද නායකත්වයේ දැනුම් දීම අනුව කටයුතු කරනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕන නායකත්වයේ පණිවුඩය අවසානය දක්වාම ගලා යනවා. නමුත් අපේ රටේ එහෙම නැහැ. මහනායක හිමියන්ගේ පණිවුඩය අද පැවිදි වන සාමණේර හිමියන් දක්වා යා යුතුයි.

එවැනි වැඩ පිළිවෙළක් ක්‍රමවේදයක් සම්බන්ධීකරණයක් අපේ නැහැ. එවැනි ක්‍රමවේදයක් අප ඇති කළ යුතු වනවා. අපේ රටේ මහ නාහිමිවරුන් හැම විටම රටට වැදගත් ජනතාවට බුදු දහමට වැදගත් වන කටයුතු සඳහා වැඩ සටහන් ඉදිරිපත් කරනවා. සම්පාදනය කරනවා. ඒවා ප්‍රාදේශීය මට්ටමට ගම් මට්ටමට යාම සඳහා ක්‍රමවේදයක් අවශ්‍යයි.

ඒ වගේම ප්‍රාදේශීය මට්ටමේ ගම් මට්ටමේ අඩුපාඩු යෝජනා සැලසුම් ඉහළට පැමිණීමේ ක්‍රමයක් ද අවශ්‍යයි. එවැන්නක් නොමැති නිසා තමයි අපේ දියුණුව අඩු වෙලා තියෙන්නෙ විවිධ විවේචන එල්ල වන්නෙ.

ඔබ වහන්සේ පවසන්නේ මෙරට දුෂ්කර ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන සම්බන්ධයෙන් අනෙක් හිමිවරුන් අවධානය වැඩි වශයෙන් යොමු කළ යුතු බවක් ද?

හොඳ ප්‍රශ්නයක්. ඊට එක එල්ලේ පිළිතුරක් ලබා දීමට බැහැ. අපට වැඩපිළිවෙළක් අවශ්‍යයි. එසේ නොමැතිව ඒ සඳහා තාවකාලික පැලැස්තර යොදා පලක් නැහැ. මේ සඳහා අතීතයෙන් උදාහරණ ගන්න පුළුවන්. මහායාන බුදු දහමේ ආරම්භකයන් ඉතාම කල්පනාකාරීව දීර්ඝ කාලීන වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

එයින් බුදුදහම සුරැකීමට කටයුතු කර තිබෙනවා. ජපන් බෞද්ධයන්ගේ නම ලබා දෙන්නේ පන්සලෙන් නම ලබාදුන් පන්සලේ නිකාය තමයි ඒ පුද්ගලයන්ගෙන් වාසගම වන්නේ. ඒ තැනැත්තා මියයන තෙක්ම පන්සල හා සම්බන්ධව කටයුතු කරනවා. මියගියාට පසු ඔහුගේ භෂ්මාවශේෂ විහාරස්ථාන භූමියේ තැන්පත් කරනවා.

එහිදී විහාරස්ථානයට යම් පුණ්‍යාධාර ලබා දෙනවා. ඇතැම් විට මිය ගියේ රාජ්‍ය සේවකයකු නම් ඔහුගේ විශ්‍රාම වැටුප පවා විහාරස්ථානයට හරවන අවස්ථා තිබෙනවා. මාස් පතා හෝ අවුරුදු පතා විහාරස්ථානයට යම් මුදලක් පරිත්‍යාග කෙරෙනවා. මේ නිසා විවිධ කටයුතු සඳහා දායකයන්ට අමුතුවෙන් බරපැන දැරීමට වන්නේ නැහැ.

ඔබ වහන්සේ එසේ පැවසුවත් අද අපේ රටේ ඡ්‍යොතිෂය පවා විහාරස්ථානයට පැමිණ තිබෙනවා. සෙත් කවි සාදා ගැනීමට වගේම බෞද්ධාගමෙන් බාහිර කටයුතු සඳහා ජනතාව හුරු වෙලා. විහාරස්ථානත් ඒ සංස්කෘතියට හුරු වෙලා. මෙය බුදු දහමේ පැවැත්මට කෙසේ බලපායි ද?

මා කලින් කියු පරිදි ඉහළ සිට පහළම ස්ථානය දක්වා දහමේ පණිවුඩය වගේම අනෙක් පණිවුඩ ගලා යාමේ ක්‍රමවේදයක් තිබිය යුතු වනවා.

ජපානයේ නාහිමිවරුන්ට ආදායම් ලැබෙන විහාරස්ථානවලින් කොටසක් ලබා දෙනවා. එසේ කරන්නේ ආදායම් අඩු විහාරස්ථාන සඳහා ලබා දීමටයි. මේ නිසා ආගමික කටයුතු උදෙසා වෙනම ආර්ථිකයක් යොදා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. මේ තත්ත්වය අපේ රටේ නැති නිසා ඡ්‍යොතිෂය, සෙත් කවි, තොවිල් කටයුතු පවා අද අපේ විහාරස්ථානවල ආදායම් මාර්ග වෙලා.

ඡ්‍යොතිෂය සෙත් කවි වැනි කටයුතු ජනතා සමාජ සේවයක් ලෙස විහාරස්ථාන මඟින් සිදු කළාට ගැටලුවක් නැහැ. එහෙත් අද වාහන අලෙවි කිරීම් තත්ත්වයට සමහර විහාරස්ථාන පත්ව තිබෙන්නේ. පැහැදිලි ක්‍රමවේදයක් අපේ බුදු සසුනේ දක්නට නැති නිසයි. වසර 15 කට ආසන්න කාලයක් ජපානයේ සිට මේ රට දිහා බලද්දි මට ඒ බව හොඳින්ම පේනවා.

ඔබ වහන්සේ කුඩා දරුවන් සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් එතෙරත් මෙතෙරත් කරනු ලබනවා. විශේෂයෙන් ම දහම් සෙවණ සිඟිත්තෝ ළමා සංවර්ධන පදනම මඟින්. ඒ ගැන විස්තර කළොත්.

1990 වසරේ මා වැඩ සිටියේ පනාගොඩ බෝධිරාජාරාමයේ බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ බ්‍රිගේඩියර් කස්තුරිආරච්චි මහත්වරුන් මගෙන් ඉල්ලීමක් කළා යුද්දෙට ගිහින් ඉන්න පියවරු නිවසේ නැති දරුවන් උදෙසා පෝයට යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා. පෝය දවස්වලට දරුවන් සීල සමාදානයට යොමු කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළා. ඊට නම දැම්මේ දහම් සෙවණ සිඟිත්තෝ කියල. දූ දරුවන් 15 ක ගෙන් ආරම්භ වෙච්ච මේ වැඩ සටහන ටික දවසකින් දරුවන් 500 ක් 600 ක් දක්වා ඉහළ ගියා.

පසුව මේ වැඩ සටහන ජනපි‍්‍රය වෙලා රූපවාහිනී මාධ්‍යය දක්වා ගියා. රූපවාහිනියෙන් දූ දරුවන්ගේ දස්කම් ඉස්මතු කළා. මට ඕන වුණේ දූ දරුවන්ගේ ආධ්‍යාත්මය වගේම මනසත් දියුණු කරන්නයි. පසුව මේ වැඩ සටහන ගමින් ගමට ගියා. මධ්‍යස්ථාන 8000 ක් පමණ ලංකාව පුරාම ඇරැඹුණා. මගේ ජපන් සංචාරයත් එක්ක ජපානයෙත් මේ වැඩ සටහන ආරම්භ කළා. ඒ වැඩ සටහනට විශාල ප්‍රතිචාර ලැබුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ ජපානයේ දූ දරුවන් දැඩි පීඩනයකින් සිටීමයි. ඔවුන්ගේ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය වැඩි වෙමින් තිබුණා. මගේ දහම් සෙවණ සිඟිත්තෝ වැඩ සටහන පාසල් මට්ටමින් ඇරැඹුණා. ජපන් අගමැතිතුමාගේ ප්‍රශංසාවත් එයට හිමි වුණා.

මම ජපානයේ ඉහළම ධන කුවේරයන් වගේම පහළම දුගියාත් ඇසුරු කරනවා. ඒ හැම කෙනෙක්ම දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මාගේ සහාය ලබා ගන්නවා.

දෙරට අතර මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා ඔබ වහන්සේගේ දායකත්වය විස්තර කළොත්…

ජනාධිපතිතුමාගේ ජපන් සංචාරය අද (10) ඇරැඹීමට නියමිතයි. ඒ සංචාරය නිමිත්තෙන් මම පෞද්ගලිකවම වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දුෂ්කර ක්‍රියාව පෙන්නුම් කරන බෝසත් පිළිම 1000 ක් එරට විහාරස්ථානවලට ලබාදීමට කටයුතු කරනවා. එයින් බලාපොරොත්තු වන්නේ මීට වඩා සබැඳියාවක් දෙරට අතර ඇති කිරීමටයි.

අප උත්සාහ දරන්නේ මාසෙකට 300 ක් බැගින් වසරකට 3600 ක්වත් ජපන් බෞද්ධ කණ්ඩායම් විහාරස්ථාන හරහා ලංකාවට එවීම කරන්නයි. එය සාර්ථක වන බව මට විශ්වාසයි.

යුද්ධයෙන් පස්සෙ ලංකාව ගැන විදේශයන්හි තියෙන මතය ගැන යම් විස්තරයක් කළොත්.

ලංකාවේ අධිවේඟී මාර්ග වගේම හොඳ සංවර්ධනයක් තියෙනවා. කැපී පෙනෙන ඇඟට දැනෙන සංවර්ධනයක් තියෙනවා. අවුරුදු 30 ක් නවත්තන්නට බැරි වුණු යුද්ධය අපේ ජනාධිපතිතුමා නැවැත්තුවා. අපට නිදහස උදා කරල දුන්නා. අප ඊට ණයගැතියි. විදේශීය ප්‍රසාදය ඊට තිබෙනවා.

ඒ වුණත් අපේ රට ගැන වැරැදි ප්‍රචාරත් ක්‍රියාත්මක වෙනවා.

ඔව් ඒ අපේම වැරැදි නිසයි. මේක අහපු එක හොඳයි. ඒ ගැන යම් විස්තරයක් කියන්න තියෙනවා. ලෝකයේ නොබෙල් තිළිණලාභීන් සියලු දෙනා වසරකට වරක් ජපානයේ කන්දා විශ්ව විද්‍යාලයයට ගෙන්වා උපහාරයක් පුදනු ලබනවා. මෙවර ලෝකයේ වැඩිම අලෙවියක් ඇති ‘යොමුයුරි සිංබුං’ පුවත්පතත් එම උපහාර වැඩ සටහනට සම්බන්ධ වී තිබෙනවා.

එම පුවත්පතේ කළමනාකාර කමිටුවේ මමත් සාමාජිකයෙක්. එම කමිටුව රැස්වූ අවස්ථාවක ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ අයෙක් පුවත්පතේ පළ කිරීමට සැකසු ලිපියක් පිළිබඳව මට දැන්වූවා. එම ලිපියේ සඳහන් වන්නේ බුදුදහම තියෙන ලංකාවේ පැවිදි කරවනු ලබන ගැහැනු දරුවන්ට අධ්‍යාපනයට අවස්ථාවක් ලබා නොදෙන බවයි.

ලංකාවේ පැවිදි කරවන ගැහැනු දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට හැකියාවක් නැහැ. උසස් පෙළට පෙනී සිටින්නට බැහැ. යම් අයුරකින් පෙනී සිටියත් ප්‍රතිඵල නිකුත් කරන්නේ නැහැ. ඔවුන්ට හැඳුනුම්පතක් නිකුත් කරන්නේ නැහැ. මෙය මූලික මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බවයි එම පුවත්පතේ පළ කිරීමට සූදානම්ව තිබුණේ.

ජනාධිපතිතුමා රටේ සංවර්ධනයට මුල් තැනක් ලබා දී අපේ රට දියුණුවට කටයුතු කරන මෙවන් මොහොතක එවැනි ලිපියක් අන්තර්ජාතික ලොව වැඩිම අලෙවිය ඇති පුවත්පතේ පළවුවහොත් සැබැවින්ම එය රටටම කැළලක්.

පැවිදි වීමෙන් පසු ගැහැනු දරුවන්ට අධ්‍යාපනයට අවස්ථාවක් ලබා නොදීම කොයිතරම් වරදක් ද? සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් දසසිල් මාතාවන්ට විශාල වැඩ කොටසක් සිදු කළා. නමුත් අන්තර්ජාතිකව ප්‍රචාරය වීමට ඉඩ ඇත්තේ චීවරයකින් දරුවන් හිරකර ඔවුන්ට අධ්‍යාපන නිදහස ලබා නොදීමට කටයුතු කරන බවයි.

මට පුළුවන් අවශ්‍ය ප්‍රතිපාදන සපයන්න.

ගැහැනු දරුවන් පැවිදි කරනවානම් ඊට අවසර දෙනවානම් ඔවුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්න රජයට සහාය දෙන්න කියල මම සියලුම භික්ෂුන් වහන්සේගෙන් මෙන්ම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. භික්ෂුණීන් වහන්සේ එහෙමත් නැත්නම් මෙහෙණින් වහන්සේ යන නම් භාවිත කළ හැකි ද නැද්ද යන කතා වැඩක් නැහැ. ඒ ගැන මම කිසිවක් කියන්නේ නැහැ. වැඩකුත් නැහැ.

අපේ රට ගැන අන්තර්ජාතිකව වැරැදි ප්‍රචාර යන්න පුළුවන් ගැහැනු දරුවන්ට සිවුරු පොරවලා අධ්‍යාපනය ලබන්න ඉඩ දෙන්නෙ නෑ කියල. ඒව වළක්වන්න අපි දැනගන්න ඕන.

මේ නිසා නිවැරැදි දේ විතරක් අන්තර්ජාතික තලයට යන විදිහට වැඩ කරන්න අපි රජයටත් ජනාධිපතිතුමාටත් සහාය දෙන්න ඕන. එහෙම නැත්නම් ඒ සියල්ලේම ගැටලුව අප සැමටම බව සිත්හි තබාගන්න ඕන.

Views All Time
Views All Time
296
Views Today
Views Today
1

About The Author

දහම් සෙවනේ සිඟිත්තෝ ළමා සංවර්ධන පදනම

Related posts