ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට​

‘ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට’ සුද්දා උගත යුතු පාඩමයි
පූජ්‍ය සුදුහුම්පොළ විමලසාර හිමි
* ඔබවහන්සේ දිගු කලක් විදේශගතව වැඩවසන හෙයින් කෙටි නිවාඩු සඳහා තමයි ශ්‍රී ලංකාවට වැඩමවන්නේ. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව තුළ වන ආර්ථික, සමාජීය හා දේශපාලන වෙනස්කම් පිළිබඳ ඔබවහන්සේගේ අදහස පැහැදිලි කළ හැකිද?

යුද්ධය නිමාවට පත්වුණේ 2009 දී. එතැන් සිට මෙරට තුළ තිබුණේ සාමකාමී වාතාවරණයක්. මා දකින විදිහට පසුගිය අවුරුදු දෙක තුළ සමාජීය, ආර්ථික දියුණුවක් ලැබුවා. මෙය ශ්‍රී ලංකාව තුළ ඉඳලා බලන කෙනෙකුට නොපෙනී යන්න පුළුවන්. ඒත් මා දීර්ඝකාලීනව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින්නේ නැහැ. කලින් කලට පැමිණෙන මට හොඳින් තේරෙනවා මේ වෙනස. ඉස්සර යුද්ධය නිසා මිනිස්සු ඉතාමත් කනගාටුවෙන්, වේදනාවෙන් සිටියේ. ඒත් අද මා දකින්නේ ඒ විදිහේ කනගාටුදායක මුහුණු, වේදනාබර මුහුණු දක්නට නැහැ. සතුටු මුහුණු හැම තැනම පිරිලා. අලුත් සිතුවිලි, අලුත් ඇඳුම්, අලුත් වාහන හැම තැනම. මෙය රටක ආර්ථික සාමාජීය දියුණුව පෙන්වන මූලික ලකුණක් විදිහටයි මා දකින්නේ.

මෙතෙක් කාලයක් අප තිබූ වරායෙන් ප්‍රයෝජන ගත්තා. ගුවන් තොටුපොළෙන් ප්‍රයෝජන ගත්තා. ඒත් අලුත් වරායක්, අලුත් ගුවන් තොටුපළක් පිළිබඳව අපිට තිබුණේ සිහිනයක් පමණයි. ඒත් එතෙක් කල් මේ සිහිනය සැබෑ කර ගැනීමට කිසිදු නායකයෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ සිහිනය සැබෑ කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසිනුයි. මෙය ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය වර්ධනය සඳහා යන ගමනකට යහපත් ප්‍රවේශයක් විදිහටයි මා දකින්නේ.

ආසියාවේ ආශ්චර්යය වෙත ශ්‍රී ලංකාව ගමන් කරද්දී මේ විදිහේ සංවර්ධන ව්‍යාපෘති අවශ්‍ය කරනවා. අප දූපත් මානසිකත්වයෙන් මිදී ජාත්‍යන්තරය දෙස විමසා බලද්දී දියුණු රටවල් බොහොමයක මේ විදිහේ දැවැන්ත ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ රටවල් දියුණු වුණේ.

මීට පෙර තිබූ රජයන් අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ සියල්ල කොළඹට කරන අතර ගමට කිසිවක් නොකිරීමයි. එහි ප්‍රතිඵලය වුණේ ගමට කැකිරි, කොළඹට කිරි යන අදහසක් ඉස්මතු වීමයි. එය හොඳ දෙයක් නොවෙයි. මා දකින විදිහට මේ වැරැදි සංකල්පය නිවැරැදි කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසිනුයි.

අප උතුරු නැඟෙනහිර පළාත්වල සංචාරය කරද්දී එම පළාත්වල මහා දියුණුවක් දකිනවා පමණක් නොවෙයි යුද්ධය නිසා විපතට පත්වූවන්ට අවශ්‍ය සහන හා පහසුකම් විශාල ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. මේ සියල්ල යහපත් ප්‍රවේශයක් විදිහට තමයි මා දකින්නේ.

* එදා සහ අද ශ්‍රී ලංකාව තුළ සිදුවූ සමාජ පරිවර්තනය පිළිබඳව ඔබවහන්සේගේ අදහස මොකක්ද?

ජනාධිපතිතුමා සමාජයේ විශාල පරිවර්තනයකට මඟපෙන්වූවා. යුද්ධය නිමවෙයි කියලා රට තුළ සාමය, සමඟිය වර්ධනය වෙයි කියලා කිසිවෙකු සිහිනෙන්වත් සිතුවේ නැහැ. ඒත් ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා මේ සියල්ල නිමා කරන්න. වර්තමානයේ බිහිවූ දියසේන කුමාරයා විදිහට ජනාධිපතිතුමා හඳුන්වන්න පුළුවන්. මා සිතන විදිහට ජන විශ්වාසය තුළ බිහිවන බවට විශ්වාස කළ දියසේන කුමාරයා තමයි මහින්ද රාජපක්‍ෂ නමින් බිහිව ඇත්තේ. අප ගතකරන මේ යුගය තුළ දියසේන කුමාරයා බිහිවන බවට චිත්ත ගුප්ත නම් මහරහත් හිමිනමක් සඳහන් කර තිබුණා. මේ පිළිබඳව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ සටහන් කර තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වයට පැමිණීමට සැලැසුම් කළේ නැහැ. පෙර සූදානම් වූ ගමනක් නොවෙයි මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණියේ. එතුමා ජනාධිපති ධූරය වෙත පැමිණියේ දෛවය විසින් යැයි කිව්වත් එහි වරදක් නැහැ. ජනාධිපතිතුමාට දෛවය විසින් භාර දුන් වගකීම වන්නේ රට, ජාතිය බේරාගැනීම කියන වගකීමයි. එතුමා අද වන විට ඒ ජාතික වගකීම ඉතාමත් ඉහළින් ඉටුකර තිබෙනවා.

* ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ මත පළවෙනවා. එයින් සමහරක් ශ්‍රී ලංකාවට වාසිදායක මතවාද නොවෙයි මේ තත්ත්වය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබෙනවාද?

මේ චෝදනාවලින් බහුතරයක් එල්ල වන්නේ එක් එක් අයගේ ඉල්ලීම් මතයි. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය මෙරට තුළ විනාශව තිබුණත් ජාත්‍යන්තරය තුළ තවමත් විවිධ මුහුණුවරයන්ගෙන් ක්‍රියාත්මකව තිබෙනවා. දෙමළ ඩයස්පෝරාව තුළ සිටින අය තමන්ගේ දරුවන්ට සුර සැප ලබා දෙමින් ජාත්‍යන්තර අධ්‍යාපනය ලබා දෙමින් කටයුතු කරනවා. ඒත් ඔවුන් ශ්‍රී ලංකාව තුළ සිටින අහිංසක දෙමළ දරුවන්ව ත්‍රස්තවාදයට යොමු කළා.

ඒ වගේම එල්. ටී. ටී. ඊ. හිතවාදී කොටස් ජාත්‍යන්තරය තුළ වැදගත් ස්ථානවලට යොමුකර තිබෙනවා. සමහර රටවල මෙවැනි අය පාර්ලිමේන්තුව දක්වා ගමන් කර තිබෙනවා. මේ විදිහේ දුෂ්ට බලවේග ජාත්‍යන්තරය තුළ ප්‍රචාරය කරන්නේ, සිංහලයන් කියන්නේ මස් කන, ලේ බොන ම්ලේච්ඡයන් කියලා. ඒත් අප මේවා බොරු ඇත්ත ඒක නොවෙයි කියලා තහවුරු කර පෙන්වා දිය යුතුයි. අපට මානව අයිතීන් ගැන මානව අයිතීන් සුරැකීම ගැන කතා උගන්වන බටහිර ජාතීන් සිදුකරන හා සිදුකළ අපරාධ අති විශාලයි. අප රට ම්ලේච්ඡ රටක් යැයි කියන මේ අය දන්නේ නැහැ අප සතා සීපාවාට පවා ආදරය කළ ජාතියක් කියලා. එදා ගොවිතැනට එන කෘමියා පවා පළවා හැරියේ ඔවුන්ව විනාශ කර නොවෙයි අනතුරක් නොකර පළවා හැරීමෙනුයි.

මෙය එහෙමයි කියලා අප ඇස් කන් පියාගෙන සිටීමෙන් ප්‍රතිඵලයක් ගන්න බැහැ. ඒ නිසා මා තීරණය කර තිබෙනවා ජාත්‍යන්තරය තුළ මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මේ ඇත්ත පහදා දීමට.

අද අපට යුද අපරාධ පිළිබඳව චෝදනා එල්ල කරන අය එල්. ටී. ටී. ඊ. සංවිධානය සිදුකළ යුද අපරාධ මහා ඝාතන පිළිබඳව කතා කරන්නේ නැහැ. දළදා මාලිගාවට පහර දුන්නේ, කැබිතිගොල්ලෑවේ මහා ඝාතන සිදුකළේ, අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා ඝාතනය කළේ එල්. ටී. ටී. ඊ. සංවිධානය විසිනුයි. මේවා යුද අපරාධ නොවෙයිද මේවා ගැන ජාත්‍යන්තරය කතා නොකරන්නේ ඇයි අප මේ ගැන අවධානය යොමුකළ යුතුයි.

දෙමළ ඩයස්පෝරාව සහ ජාත්‍යන්තර කණ්ඩායම් මෙවැනි විදිහේ අදහස් ඉදිරිපත් කළත් උතුරේ සිටින අහිංසක දෙමළ ජනතාව ජනාධිපතිතුමාව අප දකින්නේ දෙවියෙකු විදිහටයි. තමන්ට පහර දුන්නේ, තමන්ගේ දූ පුතුන් පැහැරගෙන ගියේ එල්. ටී. ටී. ඊ. සංවිධානය කියලා කියනවා. මෙරට සිටින දෙමළ ජනතාව ඇත්ත යුක්තිය මොකක්ද කියලා තේරුම් අරගෙන සිටින්නේ.

* රටේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය තුළ ආරක්‍ෂා කර ගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ තානාපති සේවයට. මේ වගකීම ඉටුකිරීම පිළිබඳව ඔබවහන්සේගේ අදහස මොන වගේද?

තානාපති සේවය පිළිබඳව නම් මට පැහැදීමක් නැහැ. බොහෝ තැන්වල තානාපති සේවය තවමත් සම්ප්‍රදායික සීමාවෙන් එළියට ඇවිත් නැහැ. ඔවුන් පොතේ හැටියටයි වැඩ කරන්නේ. ඒත් තානාපති සේවය වගේ සේවාවක් මීට වඩා නිර්මාණශීලීව කටයුතු කළ යුතුයි. අපට මතකයි චැනල් 4 සිදුවීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරන ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කළ ආකාරය. ඔහු එතැනදී ස්ථානයට සුදුසු විදිහට කටයුතු කරමින් මෙරටේ කීර්තිය ආරක්‍ෂා කර දුන්නා. සියලු තානාපති නිලධාරීන්ට ආදර්ශයක් විදිහටයි ශවේන්ද්‍ර සිල්වා මහතා හඳුන්වා දීමට හැකියාව තිබෙන්නේ. ඒත් අදත් සමහරු ජනාධිපතිතුමාගේ නියෝගය එනතුරු තමන්ගේ කටයුතු රාජකාරි ඉටුකරන්නේ නැහැ.

* විපක්‍ෂය නඟන ප්‍රබල චෝදනාවක් බවට පත්ව තිබෙන්නේ මෙරට තුළ පවුල් පාලනයක් ක්‍රියාත්මක වන බවයි. ඔබවහන්සේ මේ චෝදනාව පිළිබඳ දක්වන්නේ කුමන අදහසක්ද?

මා නම් මේ දේ දකින්නේ වෙනත් විදිහකටයි. රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ පවුල විශාල ආදර්ශයක් ලබා දෙනවා. මේ පවුලේ සියල්ල රට වෙනුවෙන් රටේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ ප්‍රමාණයක් ඉෂ්ට කරනවා. ජනාධිපතිතුමාගේ පවුලේ සමඟිය මුළු ලොවටම ආදර්ශයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. යුද්ධය ජය ගැනීම සංවර්ධන මෙහෙයුම මේ හැම දෙයක් පසුපසම තිබුණේ මේ පවුලේ සමඟිය පිළිබඳ වූ සාධකයයි. අනෙක ආසියාව තුළ පවුල් සමඟිය වැනි දේවල් අතිශය වැදගත් දේ විදිහටයි සලකන්නේ. මේ තත්ත්වය තුළ ජනාධිපතිතුමාගේ පවුලේ සමඟිය පිළිබඳව වෛරයෙන් කතා කරන්නේ, අපහාසාත්මකව කතා කරන්නේ තමන්ගේ පවුල්වල සමඟිය නැති ආරවුල් ඇති අය විය යුතුයි.

Views All Time
Views All Time
359
Views Today
Views Today
1

About The Author

දහම් සෙවනේ සිඟිත්තෝ ළමා සංවර්ධන පදනම

Related posts