කොටින්ට කඩේයන අය තවම ඉන්නවා

** 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියෙන් මතුව ඇති ආගමික ප්‍රබෝධය හා ජාත්‍යන්තර ධර්ම දූත සේවයේ අත්දැකීම් ගැන සඳහන් කරන ජපානයේ බෞද්ධ ප්‍රචාරයෙහි යෙදෙන සුදුහුම්පොළ විමලසාර හිමියන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය වර්ධනය කිරීම සඳහා හා රටට එරෙහි අසත්‍ය ප්‍රචාර හමුවේ භික්ෂූන් වහන්සේලාට දැක්විය හැකි දායකත්වය පිළිබඳ අදහස් පළ කළේ මෙසේ ය.

* ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍යයන් ඇති කිරීමට උත්සාහ කරන දේශපාලන හා ආර්ථික බලපෑම විදේශ ධර්ම දූත සේවයේ නිරත භික්‍ෂුවක් හැටියට ඔබ වටහා ගන්නේ කෙසේද?

මෑත ඉතිහාසයේ අපේ රටට වඩාත් ම බලපෑමක් කළ සාධකය වන්නේ උතුරේ පැවැති යුද්ධයයි. එල්ටීටීඊ ය පසුව අනෙකුත් ප්‍රදේශවලත් ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම නිසා මුළු රට ම ත්‍රස්තවාදයේ බලපෑමට යටත්වෙලා තිබුණා. ඒ වගේ ම සාමාන්‍ය ජනතාව උගතුන්, බුද්ධිමතුන්, පරිපාලන නිලධාරීන්, දේශපාලකයන්, ආගමික නායකයන් වැනි සමාජයේ සෑම තරාතිරමකම කොටස් ජාති හෝ පක්ෂ භේදයකින් තොරව ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය අත්වින්දා.

ජාත්‍යන්තරය ත්‍රස්තවාදය පිටු දැකිය යුතුයි කියන පොදු මතයේ සිටියත් ඔවුන් ලංකාවට ඒ සඳහා උදව්වක් දුන්නයි කියන්න බැහැ. ඒ වගේ ම ඔවුන් උදව් කළේ කාට ද කියන එක ගැන සාධාරණ සැකයක් ඇති වෙන්නේ යුද්ධයේ නිමාවෙන් පස්සෙයි.

යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමටත්, ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ වූවන් පුනරුත්ථාපනය කිරීමටත් පියවර අරගෙන තිබුණත් ඒ ගැන ඇගයීමක් නොකළ ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍යයන් උනන්දුවක් දැක්වූයේ කිසිදු වග විභාගයකින් තොරව යුද අපරාධ චෝදනා නඟන්නයි.

* දරුස්මාන් වාර්තාව හරහා ඉදිරියට ගැනීමට උත්සාහ කළ යුද අපරාධ චෝදනාව නැවත වරක් චැනල් 4 වැඩසටහන මඟින් කරළියට පැමිණ තිබෙනවා. මේ තත්ත්වයට අප රාජ්‍යයක් හැටියට මුහුණ දිය යුත්තේ කෙසේ ද?

මේ අභියෝගය පවතින ආණ්ඩුවට එල්ල වී තිබෙන ගැටලුවක් ලෙස නොසිතිය යුතුයි. අපි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පොදු මතයක පිහිටා මේ අවස්ථාවේ දී රජයට උදව් කළ යුතුයි.

එල්. ටී. ටී. ඊ. ය විනාශ වුණේ දේශීය වශයෙන් පමණයි, තවමත් එල්. ටී. ටී. ඊ. ය වෙනුවෙන් පෙනී සිටින, ඔවුන් ගේ කප්පම් මුදල්වලින් යැපෙන පිරිසක් ජාත්‍යන්තරව සිටිනවා. ඔවුන් අපේ රටට විරුද්ධව නිරන්තරයෙන් අසත්‍යය ප්‍රචාර ගෙන යනවා.

මේ චෝදනාවලට අපි එක හඬින් පිළිතුරු දිය යුතුයි. රජය, තානාපති නිලධාරීන් පමණක් නෙවෙයි, ජාත්‍යයන්තර ධර්ම දූත සේවයේ නිතරව සිටින භික්ෂූන් වහන්සේලා හැටියට අපිත් හැකි උපරිම ශක්තිය හා සබඳතා යොදා ගෙන අපේ රට වෙනුවෙන් ජාත්‍යන්තර මතයක් ඇති කිරීමට උත්සාහ කරනවා.

ජපානය තුළ දී අපිට එවැනි මතයක් ඇති කළ හැකිව තිබෙනවා. පසුගිය දා ජපාන පාර්ලිමේන්තුවේ නියෝජිතයන් පිරිසක් අපත් සමඟ ලංකාවට පැමිණියා. එහි දී ඔවුන් ලංකාවට සහය පළ කළා. ඉදිරියේ දී ජපානයේ අගමැතිතුමාත් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි අදහස් කරනවා. ඒ ආකාරයට අපි රට වෙනුවෙන් කරන සේවයක් ලෙස සළකා ශ්‍රී ලංකාව පිළිබඳ සත්‍යය තත්ත්වය ප්‍රචාරය කිරීමට කටයුතු කළ යුතුයි.

* බටහිර රටවල් අපිට කෙතරම් බලපෑම් කළත් ශ්‍රී ලංකාවට වඩාත් ආධාර කරන රට වන්නේ ආසියාතික ජපානයයි. මේ සඳහා බලපා ඇති හේතුව කුමක් ද?

ජපානය සෑම රටක ම ස්වෛරීත්වයට හා අනන්‍යතාවයට ගරු කරනවා. ඒ වගේ ම ඔවුන් තනි තනි පුද්ගලයාගේ නිදහසටත් ගරු කරනවා.

පෙරදිග ලක්‍ෂණ හා බෞද්ධාගමික පසුබිම අප දෙරට යා කරන පුරුකක් බවට පත්ව තිබෙනවා.

යුද්ධය පැවැති සමයේත් ජපානය ශ්‍රී ලංකාවට බලපෑම් නොකළා පමණක් නෙවෙයි. වැඩි ම ආධාර දුන්න රටත් වූවා. වර්තමානය වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා ලංකාව ගැන ජපන් ජනතාවට විශේෂ ගෞරවයක් තිබෙනවා.

* පසුගියදා ජපානය හදිසි ආපදාවකට මුහුණ දුන් අවස්ථාවේ ශ්‍රී ලංකාව මානුෂික සහනාධාරයක් ලබා දීම ගැන විපක්ෂය හාස්‍යයට ලක් කළා. ඒ ගැන ජපන් ජනතාවගේ ප්‍රතිචාරය කුමක් ද?

එම තීරණාත්මක අවස්ථාවේ ජපානයට මුලින් ම සහය දැක් වූ රාජ්‍යයන් අතරින් එකක් ශ්‍රී ලංකාව. ජනාධිපතිතුමා ක්‍ෂණිකව මැදිහත් වී වෛද්‍ය කණ්ඩායම් හා සහනාධාර එවීමට කටයුතු කළා. රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා තානාපති කාර්යාලයේ වැඩ භාර ගැනීමටත් ප්‍රථම ජපානයට පැමිණි මොහොතේ සිටම ඒ අවස්ථාවේ එරටට ලබා දිය යුතු සහය ලබා දුන්නා.

ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් හානියට පත් ප්‍රදේශවල සිටින ජනතාවට පිසූ ආහාර ලබා දීමට හා ජීවිත සහ දේපළ බේරා ගැනීමට ක්‍රියා කළා. මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව ක්‍රියා කළ ආකාරය අනෙක් රටවල ඇස් අරවන්නක්.

ජපාන රජය හා ජනතාව තුළ ඒ ගැන අපිට ඔවුන් ගේ විශේෂ කෘතවේදිත්වයක් තිබෙනවා.

විපක්ෂය සිරිත් පරිදි සෑම දෙයකින් ම දේශපාලන වාසි ලබා ගැනීමට ක්‍රියා කිරීම ගැන අපි පුදුමවෙන්නේ නැහැ. ඔවුන් මවුබිමට විරුද්ධව අසත්‍ය ප්‍රචාරය ගෙන යන ආකාරය අපි හොඳ හැටි දැක තිබෙනවා.

* 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්විය හැකි ද? විදේශ රටවල ආගමික ප්‍රචාරය සිදු වන්නේ කොහොමද?

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිසා විශාල ආගමික ප්‍රබෝධයක් ඇතිව තිබෙනවා.

එම ප්‍රබෝධය වෙසක් මාසයට හෝ පොසොන් උත්සවයට සීමා නොකර අවම වශයෙන් සම්බුද්ධත්ව ජයන්ති වසර යෙදෙන ලබන වෙසක් දිනය දක්වාම රැක ගත යුතුයි. ඒ වගේ ම මේ නවෝදය සැරසිලිවලට සීමා කරන්නේ නැතිව තමන් ගේ හදවත්වලටත් ළඟා කර ගැනීමට ක්‍රියා කළ යුතුයි.

රජය මේ සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මහානායක ස්වාමින් වහන්සේලා ගේ ප්‍රධානත්වයෙන් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. එය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා හේතුවන වැඩපිළිවෙළක්. භික්ෂුවට හා ධර්මයට මුල් තැන දී එම වැඩපිළිවෙළ සකස් කිරීම ගැන අපි අගය කරනවා.

විදේශ ධර්ම දූත සේවයත් මේ වැඩපිළිවෙළට අයත්. ලෝකයේ සෑම ප්‍රධාන රටක ම වගේ බෞද්ධ ධර්ම දූත භික්‍ෂූන් සිටිනවා. උන්වහන්සේලාට සම්බුද්ධත්ව ජයන්තිය කේන්ද්‍ර කරගෙන හොඳ ධර්ම ප්‍රචාරයක් කළ හැකියි.

මේ වන විට බටහිර රටවල බෞද්ධාගම ගැන විශේෂ උනන්දුවක් ඇති ව තිබෙනවා. ඒ වගේ ම මහ නායකයින්, ජනප්‍රිය පුද්ගලයින් රැසක් බුදු දහම වැළඳගෙන තිබෙනවා. ඔවුන් බුදු දහමේ වඩාත් ගරු කරන්නේ සහනශීලිත්වය හා විචාර බුද්ධියට ඇති ඉඩයි. ගතානුගතික ආගමක් නොවන බෞද්ධ දර්ශනය තර්ක බුද්ධිය අනුසාරයෙන් තීරණ ගැනීමට පෙළඹී සිටින බටහිර බුද්ධිමතුන් අතර ඉතාම ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

* විදේශ ධර්මදූත සේවය වර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

ධර්මදූත සේවයට විදේශ භාෂා ගැන දැනීම පමණක් ප්‍රමාණවත් මදි. අපි වෙනත් සංස්කෘතියක ජනතාවට කරුණු පහදා දීමේ දී භික්‍ෂූත්වයට අමතරව තවත් කරුණු රාශියක් ධර්ම දූත සේවයේ නිරත භික්‍ෂුවක් තුළ ඇති විය යුතුයි. ඒ වගේ ම ධර්ම දූත සේවයේ නිරතවන භික්ෂුන් ලංකාවේ නිල නොලත් තානාපතිවරුන්. උන්වහන්සේලා ගේ හැසිරීම හා හික්මීම අනුව ශ්‍රී ලංකාවේ කීර්තිය තීරණය වෙනවා. මේ ගැන විදේශ ධර්ම ප්‍රචාරක සේවයට පැමිණෙන භික්‍ෂූන්ට අවබෝධයක් ලබා දිය යුතුයි.

ඒ වගේ ම හැකි පමණින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හා මේ රටේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කරන්න උදව් කළ යුතුයි.

* ඔබ වහන්සේ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ජනමතය සකස් කිරීම සඳහා අරඹා ඇති ව්‍යාපාරය ගැන විස්තරයක් කළ හැකි ද?

ශ්‍රී ලංකාවට එරෙහි ව එල්ටීටීඊයේ ආධාරකරුවන් ඔවුන් ගේ සබඳතා ජාල යොදාගෙන බටහිර ප්‍රබල රටවලට හා සංවිධානවලට බලපෑම් කරනවා. ජාත්‍යන්තර ධර්ම දූත සේවයේ නිරතව සිටින භික්‍ෂූන්ටත් හොඳ සබඳතා ජාලයක් තිබෙනවා.

අපි එම ජාලය යොදාගෙන රටේ හොඳ නම ආරක්ෂා කිරීම සඳහා ඒ රටවල රාජ්‍ය නායකයින්ට බලපෑම් කිරීමේ ව්‍යාපාරයක් ගෙනයනවා. මේ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ හා ජනප්‍රිය විදේශ නායකයින් ගේ හා කලාකරුවන් ගේ සහය අපිට ලැබී තිබෙනවා.

Views All Time
Views All Time
290
Views Today
Views Today
1

About The Author

දහම් සෙවනේ සිඟිත්තෝ ළමා සංවර්ධන පදනම

Related posts